Saturday, December 28, 2013

සත් වසරක් ගෙවී ගිහින්...

දැං වෙලාව රෑ 11යි. තව පැයකින් හරකාට විෂේශ දවසක් ඉවර වෙනවා. 2006 දෙසැම්බර් 27 වෙනිදා , ඒ කියන්නෙ හරියටම අදින් වසර 7කට පෙර අද වගේම දවසක කොළඹ ලුම්බිණි රඟහලේ හවස 6.30 සිට කෙටි නාට්‍ය 4ක් වේදිකා ගත වුනා. ඒ.., හරක ජීවිතේ මුලිංම බලපු කෙටි නාට්‍ය හතර. අවුරුදු 7කට පස්සෙ ආපහු හැරිල බලද්දි, එදා හවස් වරුවෙ ගත කරපු ඒ පැය කීපය හරකගෙ ජීවිතේ වැදගත්ම පැය කීපයක් නේද කියල හිතෙනව. ඉතිං ඒ මතකය හරකට ඒත්තු ගැන්නූ කාරණා ටිකක් මෙහෙම සටහන් කරන්න හිතුනා. ලිපිය අදම(27) ඉවර කරන්න නං හරකට බැරිවේවි.

හරක දෙමව්පියංගෙ සල්ලි වලිං සැපට හැදුනු එකෙක්. ඉතිං අහපු, කියවපු, ඉගෙනගත්තු දැනුමෙං ලබපු අත්දැකීම් හැර ප්‍රායෝගික ජීවිතේ ඇතුලෙ හොඳට හෝ නරකට සිද්ද'උනු හැල'හැප්පීම් ඉතාම අඩුයි. සැපට හැදෙන බබාලට සාමන්‍යයෙන් තියෙන, ඊටත් වඩා සැපවත් ජීවිතයක් වෙනුවෙං සියලු දේ කිරීමේ රෝගයක් හරකට තිබුණෙ නෑ. ඉතිං 2006 කියන්නෙ ගෙදර අය, වටපිටාවෙ අය, යාළුවො, නෑයො, සමාජය විසින් හරකා ජීවත් විය යුතු විදිහ හා කලයුතු දේ විදිහට සම්මත කරල තිබුණු දේවල් ඔක්කොටම පයිං ගහල හරකට කැමති දේ හඹාගෙන යමිං හිටපු කාලයක්. පොඩි කාලෙ ඉඳං හරකට රඟපාන්න තිබ්බ ආසාව ඔඩු'දුවන්න ගත්තෙ 2005-2006 වගේ කාලෙ. ඒත් පොඩි කාලෙ ඉඳං කරේ වෙන වෙන වැඩ හින්ද, මේව ගැන හරකට තේරුමක් තිබ්බෙ නෑ. ඉස්කෝලෙදිත් කිසිම කලා කෙරුවාවක් කරලා තිබුණෙ නැති නිසා අළුත් ගමන පටං ගන්නෙ කොහෙන්ද කියලා අදහසක් හිතට ආවෙ නෑ, ඒගැන උපදෙසක්/දැනුමක් ගන්න ඕනෙ කාගෙන්ද කියලා හරක දැනං හිටියෙත් නෑ.
ටෙලිනාට්‍ය වල පොඩි පොඩි කෑලි ඇක්ට් කර කර හිටපු ගෙවල් පැත්තෙ අයියා කෙනෙක්, මේ කාලෙ හරකවත් පොඩි පොඩි ටෙලි කෑලි කීපෙකට සෙට් කරා. ඒත් තුන'හතරකට යද්දිම ඒ'වැඩේ හරකට එපා'උනේ, හරක හොයන දේ මොකද්ද කියල දැනුමක් ඒ'වෙනකොට හරකට නැති'උනත්, ඒක ටෙලි'කෑලි අස්සෙ නං නැති බව දැනුනු නිසා.. අනික, පිටකො‍ටුවෙ පේමන්ට් එකේ බඩු විකුණන මිනිහෙක් මොකක්හරි ජිල්'මාට් එකක් දාල මිනිස්සුංගෙං වැඩිපුර කීයක් හරි කඩා ගන්න එකෙයි , මේ පොඩි පොඩි නළු'නිළි පිස්සො'පිස්සියො ගෙන්නගෙන ටෙලි කෑලි ගොඩ දාගන්න එකෙයි කිසි වෙනසක් නැති බව මොලය ස්වල්පයක් තියෙනවනං ඕන හරකෙකුට තේරෙනව. ඔය අතරෙ තමා හරක පත්තර වල සැරින්'සැරේට දාන ඩ්‍රාමා ඉවෙන්ට්ස් හොය'හොයා බලන්න ගියේ.

නාට්ටි තියෙන්නෙ හවස උනාට, හරක ඒ'කාලෙ ඒව තියෙන තැං වලට උදේම ගිහිං කැරකි කැරකි වෙන්නෙ මොනවද කියලා බලං ඉන්නව. කිසි'කෙනෙක්ව අඳුරන්නෙ නැති නිසා හරක මේ තැං වලට ගියේ හරකගෙ පොත් රාක්කෙ තියෙන කලාවට සම්බන්ද මොකක්හරි පොතකුත් අතේ තියාගෙන**.. , එතකොට කැම්පස් කොල්ලෙක් කියලා හිතල කවුරුවත් යන්න කියන්නෙ නෑනෙ. උදේ ඉඳං කැරකිල කැරකිලා හොයා'ගන්න ඕප'දූප වලිනුයි, හවසට බලන නාට්ටියෙනුයි හරකට තේරුණා මේක හරි දුප්පත් වැඩක් බව. ඒත් කියන්න නොතේරෙන මොකද්දෝ දෙයක් නිසා හරකට මේ ක්‍රියාවලිය බොහොම තදේට හිතට වැදුනා. මේ වෙද්දි "කෙටි නාට්‍ය" කියන්නෙ මොකද්ද කියලා හරක දැනං හිටියෙ නෑ. ඉස්කෝලෙ 6 වසරෙ ඉද්දි තාත්ත බලන්න එක්කං ගිය නාට්ටි** කීපෙ ඇරෙන්න, මුලිංම හරක දිගු නාට්ටියක් බැලුවෙත් මේ කියන දෙසැ.27 වෙනිදට මාස 2කට විතර කලිං.
24 වෙනිදා පත්තරේ කෙටි නාට්‍ය පැවැත්වෙන බව දාල තිබුණා. ඒක දැකල කිසි දෙයක් හිතාගන්න බැරිඋන හරකා 27 වෙනිදා ලුම්බිණියට ගියේ මේ "කෙටි නාට්‍ය" කියන්නෙ මොනවද කියලා බලාගන්න තිබ්බ උවමනාවටමයි.

( මතකයට බාධාවක් සේ දැනෙන බැවින් මෙතැන් සිට හරක්'ෆැන්ටසිය පැත්තකින් තබා ලියමි. )

මට එදා උදෙන්ම යන්න ලැබුණෙ නෑ, ලුම්බිණියට යද්දි හවස 4යි. හෝල් එක ඉස්සරහ ලොකු ඉඩක් නැති නිසා කොරිඩෝව කෙලවරට වෙලා යන'එන අය කරන දේවල් දිහා මං බලං හිටියා. නාට්ටි බලන්න ඒ'වෙද්දි ඇවිත් හිටියෙ මං විතරයි. හිටපු අනිත් අය ඔක්කොම, නාට්‍ය වලට සම්බන්ද අය සහ උළෙල සංවිධානය කරන අය. දොරවල් වහලා නිසා ඇතුලෙ වෙන්නෙ මොනවද කියලා ගිහිං බලන්න විදිහක් තිබුණෙත් නෑ. 6.15 විතර වෙද්දි නාට්ටි බලන්න ඇවිත් හිටපු 40ක විතර පිරිස හෝල් එක ඇතුලට ගත්තා. මම 5වෙනි පේලියෙ වම්පැත්තෙ කොනේම පු‍ටුවෙ වාඩි'උනා. දොරෙං ඇතුල් වෙද්දිම දැකපු, ස්ටේජ් එකේ දකුණු කෙලවරේ නාට්ටියට ලෑස්ති වෙමිං හිටපු අය කරන්නෙ මොනවද කියලා බලා ගන්න හිතාගෙනයි එතන වාඩි'උනේ. කට්ටිය නාට්ටියෙ මොනවදෝ බඩු'මුට්‍ටු වගයක් ලෑස්ති කරමිං හිටියෙ, ඒත් මං වාඩිඋනා විතරයි, තිරේ වැහුවා.

නාට්ටි පටංගන්න නියමිතව තිබුණෙ 6.30ට උනාට සෙනග මදි නිසාද'කොහෙද පටං ගත්තෙ 7 විතර වෙනකං කල්'ඇරලා. නිවේදකයෙක් ඇවිත් පොඩි එනවුන්ස්මන්ට් එකක් දීලා, මට දිරවන්නෙම නැති පොල් තෙල් පහං වලට ගිනිතියන වැඩේ පටං ගත්තා. ඔය අතරෙ ආරාධිත අමුත්තො පස්'දෙනෙකුත් පෝලිමට ඇවිත්  දෙවෙනි පේලියෙ මැද, වෙං'කරලා තිබුණු පු‍ටු වලිං වාඩි'උනා.(ඒ ආරධිත අමුත්තන් නොව උළෙලේ වින්ශ්චය මණ්ඩලය බව දැනගත්තේ කලකට පසුවයි) 1st බෙල්'එක වැදුනා. තව ටිකකින් ලයිට් ඕෆ් කරන බව ඒ වෙද්දි මං දන්න නිසා පු‍ටුවෙ හරි'බරි ගැහුන නාට්ටිය බලන්න. ලයිට් යන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහ දොරෙං හෙල්මට් දෙකක්ද අතැතිව අප්‍රිකානු සම්භවයක් ඇතැයි කියා මට හිතුනු අඩි 9ක් පමණ උස කාලවර්ණ දේහධාරියෙක් ඇතුල්'උනා.(ඒ, ලුම්බිණියේ කුරුමිණි පු‍ටුවක වාඩි වී සිටි මට ඔහුව පෙනුනු විදිහයි.) ඔහු සමඟ තව අක්ක කෙනෙකුත් ඇවිත් දෙන්න'එක්ක මට එහා පැත්තෙ පු‍ටු දෙකෙන් වාඩි'උනා. වාඩි වෙන ගමං "අයියෝ..නොමිලේ පෙන්නලත් මිනිස්සු එන්'නෑනෙ බලන්න" කියල දේහධාරියට කිව්වෙ අර අක්ක. මට මීටර්'උනේ ඒ වෙලාවෙ.., ඇත්ත නේන්නං..මං ටිකට් ගත්තෙත් නෑනෙ, ගන්න තැනක් තිබුණෙත් නෑනෙ. හෝල්'එකේ ඔක්කොම හිටියෙ 70ක් විතර. රටේ තත්වෙ එක්ක කලාවක් විදිහට, "කෙටි නාට්‍ය" තියෙන්නෙ කොතනද කියලා හිතන්න අර අක්ක කිව්ව දේ ඒ වෙලාවෙ මාව පෙලඹෙව්වා. ඒත් හිතන්න පටං ගත්ත ගමං ලයිට් නිවුනා. 3rd බෙල්'එක වැදුනා.

ඊලඟ පැයයි විනාඩි 45ක විතර කාලය ඇතුලත මං තුෂ්නිම්භූත වෙලා ගියේ "කෙටි නාට්‍ය" කියලා දෙයක් මං මුලිංම දකින මොහොත ඒක නිසා. එදා.., ගැහැණු මනුස්සයා, රාත්‍රිය, යාපනය බලා ගිය කත, ඔයයි මායි තනියම 'යන නම් වලිං කෙටි නාට්ටි 4ක් තිබුණා. ඒවා කෙටි නාට්ටි විදිහට තිබුණෙ මොන වගේ මට්ටමකද කියල කියන්න මට එදා තේරුමක්/දැනුමක් තිබුණෙ නෑ. පොඩි වෙලාවක් ඇතුලතදි නාට්ටි 4ක්, කතා 4ක්, රස ගොඩක්, වෙනස් වෙනස් නළු'නිළියො ගොඩක්, නාට්ටියෙං නාට්ටියට වෙනස් වෙච්චි ලයිට් ගහන විදිහ, හතර විදිහක මියුසික්, නාට්ටි හතර අතරෙදි චූටි විවේක කාල 3ක්, තිරෙත් හතර'පාරක් ඇරියා'වැහුවා... අම්මට'හුඩු..., මේක නං මාරයි. ඔන්න මට එදා ආපු හැඟීම. වෙනද නාට්ටියක් බලල ඒකෙ තියෙන එක'එක චරිත හිතෙං රඟ'පපා ගෙදර ගිය මං එදා ගියේ නස්කර් වෙලා.

නමුත්, ලුම්බිණියෙ ගෙවපු ඒ පැය කීපෙට අවුරුදු 7ක් පිරෙන අද දවසේ මගේ මතකයට එන වැදගත්ම දේ මේ කිසිවක් නෙමෙයි.
  • එදා වින්ශ්චය මණ්ඩලේ හිටපු පස්'දෙනාගෙන් හතර'දෙනෙක්ම පස්සෙ කාලෙක මගේ නාට්‍ය ගුරුවරු වෙන බව මං එදා දැනං හිටියෙ නෑ.
  • එදා මං බලං හිටිය වාගෙම කොරිඩෝවේ එහා කෙලවරේ, තව කෙනෙක් සමඟ කතා කරමින් එහෙ'මෙහෙ බලමින් සිටි පුද්ගලයා පස්සෙ කාලෙක මං එක්ක එකට එකතු වෙලා නාට්‍ය කරන මගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙක් වෙන බව එදා මං දැනං හිටියෙ නෑ.
  • හෝල් එකට කට්ටිය දාන්න විනාඩි කීපෙකට කලිං ගිටාරෙකුත් කරේ එල්ලගෙන කොහෙන්දෝ මතුවූ හාදයා කෙල්ලො කීප'දෙනෙක්ට මල් හී කීපෙකුත් විදගෙන ආව වගේම වැනිෂ් උනා. ඔහු ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනක් තවමත් නියම වටිනාකම හඳුනා නොගත් මල්ටි ටැලන්ටඩ් පොරක් බවත්, මං දන්න කියන අය අතරින් ඉතාම සංවේදී කිහිපදෙනාගෙන් කෙනෙක් බවත්, මං එක්ක නාට්‍ය කීපයකම රඟපාන්නට නියමිත මිතුරෙක් බවත් මං එදා දැනං හිටියෙ නෑ.
  • නාට්ටි ඉවර වෙලා කොරිඩෝවට බහිනකොට කලිං කෙනා මල් හී විද්ද තැනම හිටගෙන තවත්'කෙනෙක්, ඉස්සරහට ලියන්න නියමිත නාට්ටියක් ගැන පිරිසකට පොර ටෝක් එකක් දෙමිං හිටියා. ඔහුත් ඉහත පැහැදිලි කිරීම'ම කලහැකි කෙනෙක් බවත්, පස්සෙ කාලෙක එකම නාට්‍ය කණ්ඩායමක මාත් එක්ක නාට්‍ය පෙන්නමිං රට පුරා යන බවත්, එම චාරිකාව පුරාවටම මට, ඔහුගේ කතන්දර වලට අවන්කවම ඇහුම්කන් දෙන එකම පුද්ගලයා බවට පත්වෙන්නට සිදුවෙන බවත් මං එදා දැනං හිටියෙ නෑ.
  • මාව දෙවෙනි වරට රඟපාන්න ගන්නේ, එදා දෙවන කෙටි නාට්‍යයේ නිෂ්පාදකයා බව මං එදා දැනං හිටියෙ නෑ.[ ඒ වැඩේ කෙරුනෙත් නෑ :( ]
  • මං පලමු වරට විදෙස් නාට්‍ය උළෙලක් සඳහා ලංකාව නියෝජනය කරන්නේ, එදා මං ලඟින් වාඩි වූ කාලවර්ණ'දේහධාරියා සමග ඔහු නිෂ්පාදනය කරන නාට්‍යකින් බව මං එදා දැනං හිටියෙ නෑ.
  • මේ වෙනකං රඟපෑම සඳහා මම වැඩිපුරම මනසින් වෙහෙසුනු චරිතය සහිත නාට්‍යයේ මගේ සහයිකාව/යෙහෙලිය/පෙම්වතිය ලෙස රඟපාන්නේ එදා දේහධාරියා සමඟ පැමිණි අක්කා බව මං එදා දැනං හිටියෙ නෑ.
  • එදා තිබුණු කෙටිනාට්‍ය අතරින් "මමත් මේ වගේ නළුවෙක් වෙන්න ඕනෙ" කියල මට හිතුනු, එදින මගේ සිත්'ගත් නළුවා පසු කලෙක රඟපෑ නාට්‍ය කීපයකම, ඔහු රඟපෑ චරිත සඳහා මාව ‍තෝරාගනීවි'යැයි මං එදා දැනං හිටියෙ නෑ. 2007 අවුරුද්දෙ අන්තිම වෙද්දි මං හීන මැව්වෙ "මට එංගලන්තෙ RADA  විශව'විද්‍යාලයේ ඉගෙන ගන්න තියෙනවනං" කියලයි. RADA හි ඉගෙනීමට යාමට තරම් එදා  මගේ සිත්'ගත් නළුවා වාසනාවන්තයෙක් වෙන බව, එදා මං දැනං හිටියෙ නෑ.(මං දන්නා තරමින් RADA'හි මේ වන තුරු ලංකාවෙන් ඉගෙනුම ලබා ඇත්තේ ඔහුත් ඇතුලුව හතර දෙනෙක් පමණි. එහි ඉගෙනීමට වාසනවන්තයෙක් වගේම අනිවාර්යෙන් අති දක්ෂයෙක් විය යුතුමය.)
  • එදා මම ජීවිතේ පලමු වතාවට දකින කෙටි නාට්‍ය නිලිය, මාස කීපෙකට පස්සේ නාට්‍ය පාසලේදී මුණගැහිල, එදා සිට අද දක්වා ඉතා හොඳ මිතුරියක් වෙයි කියලා මං එදා දැනං හිටියෙ නෑ.
මේ ලිව්වෙ පහුගිය අවුරුදු 7 තුල මම කල'කී දේවල් වලිං දශමයක් පමණක් උනාට, කියපු'නොකියපු හැම දෙයින්ම 75%කට'ම විතර සම්බන්ධ විෂේශිත පුද්ගලයෝ, එදා මං ලුම්බිණියේ ගත කරපු පැය කීපය තුලදී දැක්කා/මුණගැහුනා.(ඩොට් දමා විෂේශයෙන් නොකියූ පිරිසක්ද එදා මං දු‍ටු/මුණගැසුනු පිරිස අතර ඉන්නවා. දිග වැඩි වෙන නිසා නොලිව්වෙමි) ඒ වගේම කුමක් හෝ කරුණක් නිසා ඔවුන් මගේ මතකයේ ‍රැඳිලා හිටියා. මගේ පහුගිය අවුරුදු 7 පිළිබඳව එදා, ඒ හැමෝම මට ඉඟි කලා නේද..කියලා දැං මට හිතෙනවා, ඒක කියන්න නොතේරෙන මොකද්දෝ අමුතු සුන්දර හැඟීමක්...
සාමන්‍ය මිනිහෙක් අවුරුදු 7ක් තුල ලබන අත්දැකීම් සහ අවබෝධකරගැනීම් , සංවේදී කලා'කාරයෙක්ට ලබන්න ගතවෙන්නෙ අවුරුද්දයි කියල මං කොහේ'හෝ කියවපු බව මතකයි. හැබැයි පහුගිය අවුරුදු 7, මට අවුරුදු 49ක් වගේ නොදැනෙන්නෙ මං කලා'කාරයෙක් කියන හැඟීම මට නැති නිසා සහ ඇත්තටම මං කලා'කාරයෙක් නොවන නිසා වෙන්න ඇති. කොහොමත් මම, මං කලා'කරයෙක් කියලා හිතන්න කැමතිත් නෑ වගේම මගේ තියරියට අනුව, මට එහෙම හිතෙනවනං ඒකෙ ලොකු අවුලකුත් තියෙනව.

මොනව'උනත් පහුගිය අවුරුදු 7 ඇතුලෙ මං කරපු'කියපු දේවල් වල ඵල, මේ වෙද්දි මං නෙලමිං ඉන්නෙ.. ඒවා තවත් මොනවාට හෝ අනාගතේදි පාර කපාවි.
ඉවරයි.
. . . . . . . . . . . . . . . . . . . . . . . . .
* ලියනවනං මේ වගේ කතා හැමෝටම තියෙන බව හරක දන්නවා. ඉතිං අතීත ආවර්ජණ වලදි දැනෙන අමුතු සුන්දර හැඟීමෙ මහලොකු විෂේශයක් නැති බව, ඒ හැඟීමෙන් පිටට ඇවිත් හිතනකොට ඕන කෙනෙක්ට තේරෙනවා.
ප.ලි.

** පොත අතේ තියාගෙන රවුම් ගැසීම නිසා ලබපු අත්දැකීම් වෙනම කියන්නම්.
** 6 වසරෙදි, හරකා ජීවිතේ මුලිංම බලපු නාට්ටිය ගැනත් වෙනම ලියන්නම්.

Wednesday, December 25, 2013

නත්තල් සීයා වෙත ,

අනේ නත්තල් සීයේ,
මං උඹ ගැන දැනගනිද්දි මට වයස අවුරුදු දෙකයි. එදා ඉඳං අද වෙනකං අවුරුදු විසිපහක් තිස්සෙ උඹ එනකං මං බලං ඉන්නවා කියලා උඹ තාම දන්'නැද්ද ? අද දවස ඉවර'වෙන්නත් තව ටික වෙලාවයි තියෙන්නෙ.
හ්ම්ම්ම්... උඹ අද එන්නෙත් නෑ සීයෙ..

උඹේ බොස් ඉපදුනෙත් මං ඉපදුනා වාගෙම ගව'මඩුවක සීයෙ. පොර හැමෝටම ආදරේ කරන්න කිව්වට උඹ වැඩ කරන්නෙත් පංගු'පේරුවටමයි නේද ? මොනම දේකදි'වත් පංගු'පේරුවට වැඩ කරනවට මං නං කැමති නෑ. ඒත් උඹට එහෙම කරන්න ඕනෙම නං, අඩුමගානෙ හරිම පංගුව ‍තෝරගනිංකො.. උඹ සලකන්නෙ බැටළුවොන්ටමනෙ.
උඹට වැරදිලා සීයෙ. මම දන්න කාලෙ ඉඳං අපේ උං හදන හදන ගව'මඩු වලට ගෙනත් තියන්නෙම ප්ලාස්ටික් බැටළුවො. උඹත් දන්න කාලෙ ඉඳංම දැකලා තියෙන්නෙ ගව'මඩු වල හිටවලා ඉන්න බැටළුවො නේද සීයෙ. ඔතනයි උඹට වැරදුනේ.. උඹේ බොස් නං කිව්වෙ අපිට වගේ අං නැති'උනාට' හරීඊඊඊ කියුට් වගේ පෙනුනට ඒ.., බැටළු හම් පොරවගත්තු වෘකයො කියලා. පබා අක්ක නං කිව්වෙ, ඒ හම් ඇතුලෙ ඉන්නෙ නරි කියලා. මොක්කු'උනත් උං හරක් නං නෙමෙයි සීයෙ. හරි හරි, උඹ දැං කියන්න හදන දේ මං දන්නවා. ඔව්, උංව ගව'මඩු වල හිටෙව්වෙ අපි වගේ හරක් තමයි. ඒත් කවදා'හරි අපිත් අං ගලවල දාල, ඔළුව හෝදගෙන මොලේ පාදගන්න ඕනෙ නේද සීයෙ. උඹේ බොසුත් ගව'මඩුවකිං වැඩෙට එන්ටර් උනේ ඒ'හින්දනෙ..

මෙහෙ වනාතෙ කියල පැත්තක් තියෙනව සීයෙ. එහෙ ඉන්න අපේ උංට ගෙවල් හදල දෙන පොජෙට් එකක් යනව. උඹ දන්නවද සීයෙ.. ඒකෙ වැඩ බලන්න ආපු බැටළු පැටියෙක් අපේ උංට උම්බෑ කියපු විදිහ දැක්කම, මට අපේ උං ගැන අඬන්නද' හිනාවෙන්නද' කියලා හිතාගන්න බැරිඋනා සීයෙ. ආත්මාර්ථකාමීකම, කුහකකම, ඊරිසියාව වගේ බර වචන ඔක්කොමයි ඒ'වගෙම ගොංකමයි මෙහෙ ඉන්න හරක්, බැටළුවො දෙගොල්ලොන්ටම මදි නොකියන්න තියෙනව සීයෙ. අපිට යන කල'දසාව හිතාගන්න අර බැටළු පැටිය උම්බෑ කියපු විදිහයි, අපේ උං ඒකට හූමිටි තිබ්බ විදිහයි බලපුවහම හොඳටෝම ඇති සීයෙ. ලොකුම දුක කියන්නෙ ඒ බැටළුවො ටික පැන්නුවයි කියලා අළුතෙං හිටෝලා තියන්න වෙන ක‍ටුස්සෙක්වත් නැති එකනෙ සීයෙ. උඹට මහන්සියි නං අං ගැලෙව්වෙ නැතත් කමක් නෑ. මොල පෑදෙන්න මොනවහරි ගුලි ටිකක්වත්, ඇවිත් මුංට කවලා පලයංකො සීයෙ.

උඹලට වගේ අපිට හිම වැටෙන්'නෑනෙ. ඉර අපේ ඔලුවට උඩිං හැමදාම ටටා කියාගෙන යනව සීයෙ. සොබාමෑණියො උඹලට දෙන බයිට් එකෙං සීයෙන්'පංගුවක්වත් අපිට දෙන්නෙ නෑ කියල උඹලගෙ දේසෙ'ට ආවම මට හොඳට තේරුණා සීයෙ. අපේ උංට මේව්වල අගයක් තේරෙන් නෑ බං. ඒ'අතිං නං සොබාමෑණියො අපිවයි බයිට'ට අරං තියෙන්නෙ. අපේ උංට මෙව්ව තේරුං'ගන්න එයා ඔළුවක් දුන්නෙ නෑනෙ සීයෙ, අං දෙකක් මිසක්..

උඹේ බොස්ව ගණං ගන්න එවුං මෙහෙ අඩුයි සීයෙ. මෙහෙ ගොඩක් අයට ඉන්නෙ වෙන බොස් කෙනෙක්. මං නං ඔය බොස්ලා දෙන්නගෙවත්, අනිත් බොස්ලා පස්සෙවත් ගාටන්නෙ නෑ. හැබැයි මේ බොස්ලා ඔක්කොම හොඳ මිනිස්සු සීයෙ. සුනිල් අංකලුත් කිව්ව උඹේ බොසුයි අපේ බොසුයි එයාලගෙ ගෙදරට වෙලා කිසි අවුලක් නැතුව ටොප් එකට ඉන්නවා, අපියි පිස්සු කෙලින්නෙ කියලා.. උඹ දන්නවද සීයෙ.. ඒ කතාව සහතික ඇත්ත, අපි තමා පිස්සු කෙලින්නෙ, මරාගන්නෙ.
මෙහෙ'බොස්ගෙත් ගෝලයො, අඳින නූල්'පොටේ ඉඳං තැං තැං වල, කෑලි කෑලි වලට බෙදිල සමානාත්මතාවෙයි, සහජීවනේ ගැනයි බණ කියනව සීයෙ. ශ්‍රද්ධාව කියලා එකකිං අපේ උංගෙ ඔලු අවුල් වෙලා හින්ද, මුං කෙලින කෙප්පවල් අපේ උංට තේරෙන්'නෑ සීයෙ. අඬන්න දේවල් ගොඩාරියක් තියෙද්දි මෙහේ ඉන්න උඹේ බොස්ගෙ ගෝලයොත්, උඹේ ඇඳුං ටික නිල්'කුඩු දාල හේදුව කියල පහුගිය දවස් ටිකේ නහයෙං ඇඬුව සීයෙ.

ඔහෙ වගේ මෙහෙ සීතල නැති'උනාට මෙහෙ හැටියට මේ'කාලෙට මෙහෙත් පට්ට සීතලයි සීයෙ. අල්ලපු රටේ තරං නැති උනාට මෙහෙත් රෑ'ට පාරවල් අයිනෙයි, හන්දි ගානෙයි බුදියගන්න මිනිස්සු ඉන්නව සීයෙ. උංටත් දවල්ට රස්නෙයි, රෑ'ට සීතලයි. උඹ දන්නවද සීයෙ.. රෑ'ට අපේ හන්දියෙ කඩපිලක බුදියගන්න සීය'කෙනෙක්ට ගිය අවුරුද්දෙ මං දුන්නු බෙඩ්'ෂීට් එක තවමත් රෑ'ට පොරවගෙන බුදියං ඉන්න'හැටි, රෑ තිස්සෙ රස්තියාදු ගහනකොට මං දකිනව බං.., ඒ වෙලාවට හිතට දැනෙන්නෙ පට්ටම සතුටක් සීයෙ. කළුතර පැත්තෙ ඉන්න අපේ නෑයො කට්ටියක් කුරුණෑගල පැත්තෙ ආරන්නෙ'කට ලොකු දානයක් දුන්න සීයෙ. එතෙන්ට දානයක් දෙන්න හරි අමාරුයිලු. දිනේ බුක්'කරෙත් අවුරුද්දකට කලිං'ලු. ඒ'කියන්නෙ අඩුවක් නැතුව කන්න බොන්න තියෙන තැනක්නෙ සීයෙ. අපේ නෑයො මං ගැන හිතන්නෙත් එයාලගෙ විදිහටම නිසා, මහත්ඵල'මහානිසංස'ද මොනවද ලැබෙනව කියල මටත් අනිවාර්යෙං එන්න කිව්ව සීයෙ. මටත් මං ඔව්වා ගැන හිතන විදිහෙ වැ‍රැද්දක් තියෙනවද කියලා බලාගන්න ඕන'උනු නිසාම වැඩේට ගියා සීයෙ. ලොකු වැඩක් නිසා කට්ටිය කලිං දවසෙ රෑම කුරුණෑගලට සෙට්'උනා. කළුතර ඉඳං කුරුණෑගලට එනකං කඩපිල් වල සීතලේ ගුලි වෙලා නිදාගෙන හිටපු එකෙක්ව'වත් අපේ'උං දැකලා තිබුණෙ නෑ සීයෙ. වැඩේට ලක්ෂ දෙකහමාරක් විතර වියදං උනාලු.. හැබැයි පහුවදා හවස, ලිස්ට් ඒකේ තිබුණු මිදි කිලෝ 20 මිස් උනා කියල කට්ටිය ගොඩක් අප්සෙට් එකේ හිටියෙ සීයෙ. මෙහේ ඉන්න උඹේ බොස්ගෙ පිටිපස්සෙ ගාටන එවුංගෙත් ඔයිට වඩා කිසි වෙනසක් නෑ සීයෙ..

අද මං රූප'පෙට්ටියෙ තියෙන මෙහෙ චැනල් ඔක්කොමයි රට චැනල් ගොඩකුයි පත්තු කර කර බැලුව සීයෙ. උඹ මාරම පොරක්නෙ සීයෙ. උඹේ බොස්'ටත් වඩා පොර උඹ'නෙ. මමත් උඹට ආස ඒකනෙ. මට උඹෙං තෑගි ඕන නෑ සීයෙ. රෑ වෙලා යන ගමං මේ පැත්තෙ වරෙං මං ගානෙ පොඩි අඩියක් ගහල යන්න. එන්න'උනේ නැත්තං පිණිමුවාට කියහං මං මිනිහව මතක් කරා කියල. මගේ 'ඩ්‍රීම් ස්ටාර්' එක පිණිමුවා බව මං කිව්ව කියහං. ප්‍රාර්තනාවක් කරන්න වල්ගා තරුවක්වත් පායන්නෙ නෑනෙ. මෙහෙට කඩං වැටෙන්නෙ උල්කාපාත විතරයි සීයෙ. ඔක්කොමල්ල පංගු'පේරුවට වැඩ.. උඹත් එහෙමනෙ..
නත්තල අපිට හිනාවෙනව සීයෙ.
මට ලැජ්ජයි, ඉතිං ඇති.

මීට,
හරකා.


Saturday, December 21, 2013

හූනා චිකයි...

ටික'කාලෙකට කලිං හරක The Babymakers කියල ‍ෆිල්ම් එකක් බැලුව. දරුවො නැති විවාහක යුවලක්, තමංගෙම දරුවෙක් හදාගන්න ගන්න උත්සාහයයි කතාවෙ තියෙන්නෙ. ඒකෙ, හරකගෙ හිතට වැදුනු දෙබසක සිංහල අනුවර්තනයයි මේ..,
"යකෝ තොට පිස්සුද ?
අපි අඳින ජංගියෙ ඉඳං හැම ඇටයක්ම හදන්නෙ උං. මට නං මේ made in china මගුල් ඇති වෙලා.
රෙද්ද... දැං උං අපිට ළමයිනුත් හදලා දෙනවද ?"

දවස් කීපෙකට කලිං BBC news වල කියපු දෙයක් නිසයි හරකට මේ දෙබස මතක් උනේ..
චීනය විසින්, මහා බ්‍රිතාන්‍යයේ ඩොලර් බිලියන 6ක් ආයෝජනය කරන්න එකඟ උනාලු. ඒ'ගැම්මටම බ්‍රිතන්‍යය ඩොලර් බිලියන 4ක ණය'කුත් අරං චීනෙං. චීන්නු පහුගිය අවුරුදු 30හේම ආයෝජනය කලාට වඩා වැඩි මුදල් ප්‍රමාණයක්, පහුගිය මාස 18 ඇතුලත බ්‍රිතාන්‍යයේ ආයෝජනය කරලා කියලත් ඒ'එක්කම කියවුනා.

ලෝකෙ දෙවෙනියට ලොකුම ආර්ථිකේ තියෙන්නෙ චීනෙට. යුක්රේනයේ භූමියෙන් 5%ක ප්‍රමාණයක් අවුරුදු 50කට බද්දට ගන්න චීන්නු, ගිය සැප්තැම්බර් මාසෙ ඒ රටේ රජයත් එක්ක ගිවිසුමක් ගැහුව. ඉතියෝපියාව, තායිවානය, ඉන්දුනීසියාව, කොංගෝව, සුඩානය, ඉන්දියාව වගේ ලෝකෙ පුරාම රටවල් ගොඩක(ලිව්වේ එක සැරේ මතකයට ආපු රටවල් පමණි. තව ගොඩාආආආරියක් ඇත.) මේ'වෙනකොට චීනෙට අයිති කෘෂිබිම් තියෙනව. ඕස්ට්‍රේලියාවෙ තිබුණු ලොකුම කපු ගොවිපොලත් ගිය'අවුරුද්දෙ චීන්නු සල්ලි දීල ගත්ත. 2030 වෙද්දි ලෝකය තුල සිද්දවෙන ආයෝජන වලිං 30%ක්ම කරන්නෙ චීනෙ බවට ලෝක බැංකුව ගණං'බලලා තියෙන බවත් හරක මාස කීපෙකට කලිං නිවුස් එකක ඇහුව. ඒ'විතරක්යැ.. චීන සමාගම් විශාල ප්‍රමාණයක් විවිධ නිෂ්පාදනත් එක්ක ලෝකෙ පුරාම පැතිරිලා. අපි පාවිච්චි කරන ගොඩක් දේවල් "made in china" බව හැමෝම දන්නවනෙ...("ලාබ බඩුවෙ හිලක්" කියලා අපේ මුත්තෙක් කිව්වෙ පාහියන් ලංකාවට එන්නත් කලිං කියලත් හැමෝම දන්නවනෙ..)

හැබැයි ඉතිං අපේ දේසෙ පාලනේ කොරන උගත්,බුද්ධිමත් මහත්තුරු ටික නං චීනා ගැන හිතං ඉන්නෙ, චීනාට චීනෙ ඇරුනම රටකට තියෙන්නෙ ලංකාව විතරයි කියලද කොහෙද.. ඒත්, ඉතාම සරල කාරනා අධ්‍යයනය කරල බැලුවත්, චීනා ගහන්නෙ පට්ට ගේමක් බව ඕන හරකෙකුට තේරෙනව..

ඕං පොඩි අතීත කතාවක්;
නපුංසක චීන සෙන්පතියාගේ ලංකාවේ පාලකයා කුදලන් යෑම
( මොහොතක් හිතන්න.මේ වැළලුනු අතීතයයි )
ඒ වසර ක්‍රි.ව 1405 ය. ලංකාව තුළ ප්‍රධාන දේශපාලන ඒකකයන් දෙකක් මේ වන විට පැවතිනි. ඉන් ප්‍රධාන රාජධානිය ගම්පොල වූ අතර එහි පාලකයා වුයේ 5 වන බුවනෙකබාහු අවෑමෙන් 1391දී ගම්පොල රජ වන වීරබාහු කුමාරයා ය. මේ වන විට රයිගම ප්‍රදේශයේ විරබාහුගේ සොහොයුරු 11වන වීර අලකේශ්වර ප්‍රාදේශීය පාලනයේ නිරත විය.නමුත් ඔහු ගම්පොල පාලකයා ගේ ආධිපත්‍ය නොසැළකුවෙක් විය. එනිසාවෙන් ම 1396 පමණ කාලයේ වීරබාහු, අලකේශ්වරට පහර දෙන අතර අලකේශ්වර ඉන්දියාවට පලා යයි. ඒ අනුව මිට පෙර නිශ්ශංක අලගක්කෝනාර සෙනවියා විසින් සෑදු කෝට්ටේ බලකොටුව තම පාලන මධ්‍යස්ථානය කරගන්න වීරබාහු, එහි සිට රාජ්‍ය විචාරයි.
මේ අතර වාරයේ 1405 දී පමණ චීනයේ යුං - ලෝ අධිරාජ්‍යයාගේ දේශපාලන බලය ඉන්දියන් සාගර කලාපයට ව්‍යාප්ත වීම ඇරඹේ. තම අන්ත:පුරය භාරව සිටි විශ්වසනීය නපුංසක සෙනවියකු වූ චෙං - හෝ සෙනවියා මෙම බලව්‍යප්තියේ මුලිකයා වේ.
සුමාත්‍රාව - මලයදේශය පසුකරමින් ඉන්දියන් සාගරයට පිවිසෙන චෙං - හෝ දකුණු ඉන්දියාවේ තොටුපළවල් හරහා යද්දී ලංකාවටද ගොඩබට වග චීන මුලාශ්‍ර වල දැක්වේ. නමුත් වැඩි යමක් ඒ ගැන සඳහන් නොවේ.
මේ අතර ඉන්දියාවට පලා ගිය වීර අලකේශ්වර 1409 දී යලි පැමිණ වීරබාහු මරා දමා රයිගම යලි රජ වෙයි.
1409 දීම චෙං - හෝ ගේ දෙවන ලංකාගමනය ද සිදුවේ.
මේ අවස්ථාවේ ලංකාවේ පාලකයන්ට තුටු පඬුරු ද බුදුරදුන්ගේ ආගමික ස්ථානයකට පිදීමට පුද පඬුරු ද ඔහු ගෙනවිත් තිබේ. නමුත් මේ මොහොතේ රයිගම පාලකයා වූ අලකේශ්වර චීන සෙනවියා කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ඒ නිසාවෙන් චෙං හෝ සෙනවියා දකුණේ දෙවිනුවර උපුල්වන් දෙවොලට ඒ පුද පඬුරු පුද දී පර්සියන් - චීන - ද්‍රවිඩ යන භාෂාවන් ගෙන් යුක්තවූ සුප්‍රසිද්ධ "ත්‍රයිභාෂා" සෙල්ලිපිය කරවා යළි චීනයට පිටව යයි.
නමුත් 1411 දී චෙං - හෝ යළි පැමිණේ.
3000කට අධික සේනාවක් ද සමඟිනි. චීන මුලාශ්‍ර දක්වන ආකාරයට 15000ක පමණ සේනාවක් ද සමඟින් වීර අලකේශ්වර යුද්ධයට සුදානම් වී ඇත.නමුත් ඔහුගේ යුධ සුදානම ගැන චීන සෙනවියාට මෙරටින් ම ලැබෙන ඔත්තුවක් අනුව වහා ක්‍රියාත්මක වන චෙං - හෝ ප්‍රථමයෙන් පහර දී දින 6ක යුද්ධයකින් පසුව අලකේශ්වර හා ඔහුගේ පවුලේ පිරිස සිරභාරයට ගනී.
ඉන්පසුව ඔවුන්ව චීනයට රැගෙන යයි.
මේ වන විට සෙන්කඩගල (ගම්පොල ) පාලනය ගෙනයමින් උන්නේ සේනාලංකාධිකාර ප්‍රභූ පවුලට නෑ ඇති "පරාක්‍රම ඈපා" නම් කුමාරයෙකි.
යුං -ලෝ අධිරාජ්‍යයා විසින් අලකේශ්වර ඇතුළු පිරිසට ජිවිතදානය දී යලි ලක්දිවට එවන අතර මෙරට පාලකයා ලෙසින් පරාක්‍රම ඈපා නම් කරයි.එම නම් කිරීමේදී අලකෙශ්වරගෙන් ද නමක් ඉල්ලු බව දැක්වේ.
මෙම නාමකරණයේ දී නියතවම චෙං - හෝ සෙනවියා ගේ උපදෙස් ද අධිරජු ලබාගන්නට ඇත. ඒ අනුව චීන අධිරජු පරාක්‍රම ඈපා නම් කිරීම තුළ ම අලකේශ්වර සම්බන්ධ ඔත්තුව දීමේ සැකය පරාක්‍රම ඈපා වෙත එල්ල වෙයි.
කෙසේ නමුදු එතැන් පටන් ලංකාවේ පාලකයෝ චීනයට යටත් පඬුරු ගෙවීමක් සිදු කොට තිබේ. 1416, 1421, 1430, 1432, 1433, 1436, 1445, 1459 යන වර්ෂ වල ඒ අනුව තුටු පඬුරු රැගත් ලාංකේය දුත පිරිස් චීනයට ගොස් තිබේ.
අවසාන වශයෙන් මෙතුවක් පමණක් කියමි.

" වර්තමානයේ හා අනාගතයේ සිදු වන සෑම ක්‍රියාවක් ම අතීතයේ සිදු වී අවසන් ය. මේ මොහොතේ එකම වෙනස, සිදුවීමේ මුහුණුවර ම පමණි. සිදු වන්නේ එකම දෙයකි "

~ නුතන ~ 
(02.11.2013)
----------------------------------------------

පහලින් තියෙන්නෙ ලංකාව රටක් විදිහට දියුණු වෙන්න අනිවාර්යෙන් බලපාන අංශ කීපයක් සඳහා 2014 අයවැයෙන් වෙන්කරා කියන මුදල් ප්‍රමාණයන් ;


  • ළමා සංවර්ධනය හා වනිතා කටයුතු                             රු. බිලියන 1.24
  • සංස්කෘතික හා කලා කටයුතු                                       රු. බිලියන 1.48
  • විදුලි සංදේශ හා කාර්මික තාක්ෂණය සඳහා                රු. බිලියන 0.957
  • විදේශ සේවා ප්‍රවර්ධනය හා සුබසාධක කටයුතු           රු. බිලියන 0.58


නමුත්, පසුගියදා විවෘත කරපු කොළඹ-ක‍ටුනායක අධිවේගී මාර්ගය සඳහා
එක කිලෝමීටරයකට වැයකර ඇති මුදල                               රු. බිලියන 1.80

ඒ'විතරද... ලබන අවුරුද්දටම..;
  • අධ්‍යාපනය සඳහා                                                       රු. බිලියන 38.84
  • වාරි හා ජල සම්පත් කලමණාකරණය සඳහා               රු. බිලියන 41.2
  • කෘෂිකර්මය සඳහා                                                      රු. බිලියන 44.47
  • උසස් අධ්‍යාපනය සඳහා                                              රු. බිලියන 29.5
  • විදිලිය හා අනෙකුත් බලශක්ති සඳහා                          රු. බිලියන 23.74

නමුත්, දිගින් කිලෝමීටර් 25.8ක් පමණක් වන කොළඹ-ක‍ටුනායක කෙටි අධිවේගී මාර්ගය සඳහා
මුළු වියදම                                                                           රු. බිලියන 45.7 

දැං හරක කියන්න හදන්නෙ අධිවේගී මාර්ගය එපා කියල හරි, ඒක වර්ජනය කරමු වගේ දේශප්‍රේමී අදහසක් නෙමෙයි. හරක ඉන්නෙ මෙවැනි මාර්ග රටට අවශ්‍යයි කියන තැන. නමුත් මේක හදන්න සල්ලි වැඩිපුරත් එක්ක වියදම් කරත්, මීට වඩා ගොඩක් අඩු වියදමකින් මේක හදන්න තිබුණු බව දන්නෝ දනිති. මේවට අදාල තාක්ෂණික කාරනා පැහැදිලි කරා කියල මිනිස්සු ඒව තේරුං ගන්නෙත් නෑ, තේරුංගන්න දැනුමකුත් පොදුවේ වැඩි පිරිසකට නෑ. සරලවම කියනවනං අධිවේගී මාර්ග සඳහා මේ වෙනකොට ලෝකෙ පාවිච්චි කරන තාක්ෂණයට සාපේක්ෂව මේක පලමු පරම්පරාවේ පාරක්. හැබැයි අපිට තව කාලයක් යනකං චීනා'ට ගෙවන්න ලොකු පොලියකුත් එක්ක ණයක් නං ඉතුරු වෙලා තියෙනව.(වැඩියෙන් වියදම් වූ මුදල් වැ‍ටුනේ චීනාගේ සාක්කුවට පමණක්' නොවන බවද සලකන්න)

මේ පැත්තකින් තියෙන්නෙ චීනෙ බෙයිජිං නගරෙ රථවාහන තදබදය නිසා ශ්‍රමිකයන්ගෙ කාලෙ අපතේ නොයන විදිහට ගමන් කරන්න අලුතෙන් හඳුන්වාදෙන්න ප්ලෑන් කරල තියෙන බස් වලිං එකක්(මේconcept එකක් විදිහට එලියට එන්නෙ 2010දි). චීනෙ කරන්න හදන ඒවා මෙහෙ කොරන්න බෑ තමයි. නමුත් ලංකාව වගේ සංවර්ධනය වෙමිං තියෙනවා කියන තුන්වෙනි ලෝකෙ රටවල් වල සංවර්ධනය සඳහා කරන ව්‍යාපෘති, චීනා විසින් කරන්න බාරගන්නෙ, චීන්නු විසින්ම ඒ රටවල් වලට දෙන ණය මුදල් වලිං. හැබැයි උංගෙ තාක්ෂණෙං 1/8ක්වත්(අරික්කාලක්'වත්) මේ ව්‍යාපෘති වල ගෑවිලාවත් නෑ.
CHOGM පටන්ගන්න කලිං ඒකෙ කටයුතු අධීක්ෂණයට ලංකාවට ආපු පිටරට උදවිය කියලා තිබුණා, චීනා හදපු නෙළුම් පොකුණ රඟහලේ, ප්‍රභූවරුන්ට ගමන් කිරීමට සුදුසු සෝපන තියෙන්නෙ එකයි, ඒ නිසා ඒක නුසුදුසුයි කියලා... ඊට පස්සෙ නැට්ට ගිනිඅරං අපේ කට්ටිය අලුතෙං සෝපාන හදන්නත් කටයුතු කරලා තිබුණා. (හරක නං හිතන්නෙ, ප්‍රභූන්ට කියලා වෙනම සෝපාන ඕන නැ.., හදනවනං ඒ සියල්ල ප්‍රභූන්ට මෙන්ම සාමන්‍ය මිනිස්සුන්ටත් සුදුසු විය යුතුයි කියලා.) හැබැයි හරක කොහොම හිතුවත්, ආසන 1228ක් තියෙන රඟහලකට ප්‍රභූන්ට කියල තියෙන්නෙ එක සෝපානෙ නං, මේක හදන්න ප්ලෑන් කරපු ඉංජිනේරුවෝ කියන එවුං මොලේ උඩ වාඩි වෙන එවුංද කියලයි හරකට අහන්න වෙන්නෙ...


හරකට මෙහෙම ප්‍රශ්නෙකුත් අහන්න තියෙනවා. ලංකාවෙ කොමඩ් ෆ්ලෂ් කරන කෑල්ලෙ ඉඳං අධිවේගී මාර්ග වෙනකං ඔක්කොම චීනට හදන්න බාරදීල තිබුණට, මේ හැම තැනකම ඒවා අධීක්ෂණේට ලංකාවෙ ඉංජිනේරු මහත්තුරුත් ඉන්නවනෙ. මුන්ට මේව පේන්නෙ නැද්ද ? නැත්තං
තේරෙන්නෙ නැද්ද ? අඩුගානෙ රිපෝට් එකක් ලියන්නවත් කොඳුනාරටියක් නැද්ද ? නැත්තං කොඳු කඩල'දාලද ? ඒ'ඔක්කොමත් නෙමෙයි නං, ලංකාවෙ ඉංජිනේරු මහත්තුරු කියන එවුං දන්නෙත්, අපි වගේම කුරුංබැට්ටියට ඉර‍ටු ගහලා මැෂිමක් හදන්න විතරද ???
චීන්නු නං දැං හඳට චන්ද්‍රිකා එහෙමත් යවනවා, හැබැයි උංට හදන්න දීල තියෙන, ලංකාව පුරා ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති හැම එක
ක්ම වගේ හැදෙන්නෙ, චයිනීස් ෆෝන් වගේ පිට ඔපේට විතරයි. ඒ පිට ඔපෙත් තියෙන්නෙ පරම්පරා කීපෙකට පිටිපස්සෙං බව ගොඩක් අය දන්නෙ නෑ.

පට්ට අලාභයක් තියෙන හම්බන්තොට වරාය ව්‍යාපෘතියට චීන්නුංගෙං ගත්තු ණය වල පොලියත්, ඕං චීනා තව 5%කින් වැඩි කරලා. කොහොමිං'කොහොම හරි ලංකාව චීනාට පොලියත් එක්ක ගෙවන්න තියෙන ණය(ඉස්සරහට ගන්න නියමිත ණය හැර) තව පරම්පරා ගානක් යනකං ගෙව'ගෙවා ඉන්න වෙන බව නං පැහැදිලියි. ආණ්ඩුව පරසක්වල ගහලා කොළඹ වරායෙ අලුතෙන් හදාගත්තු ජැටියත් 2042 වෙනකං අයිති අපිට තියා අඩුගානෙ මහින්ද මාමට'වත් නෙමෙයි, චීනෙට..
හරකා ලංකාව ගැන වැඩිපුර කියෙව්වට, අපි වගේම චීනා'ව ලං'කරගෙන ඉන්න හැම රටක්ම චීන ගුන්ඩු වල රහ බලමිනුයි ඉන්නෙ. ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට ඇහැ'ගහගෙන, කන'දීගෙන ඉන්නවනං මේ'වෙන දේවල් තේරුං ගන්න මොලය ස්වල්පයක් හොඳටෝම ඇති.

හූනා ලෝකෙටම චිකාගෙන යනවා..
අනේ.. අපිට මොකෝ.. අපේ මොකෝ.. නේ..
මේ හුරුබුහුටි දිවයිනේ ආශ්චර්ය විඳගෙන දැහැමෙන් සෙමෙන් දිවි ගෙවන අපිට නං..,
පුංචි ළිඳේ වතුර රහයීඊඊඊඊ...

ප.ලි.

* ලිපියේ සමහර තොරතුරු තිසරණී ගුණසෙකර'ගේ "Children Of A lesser God" යන ලිපිය ඇසුරෙනි.
* අතීත කතාව බුකියේ මිතුරෙක්(දෙසවන් සමීර දයාරත්න) තැබූ සටහනකි.

Monday, December 16, 2013

මුකවාඩමෙන් එබී බලමි...

මොර‍ටුව සරසවිය තුල නිකාබය තහනම් කිරීම 'නොකල යුත්තක්' බවට මේ දිනවල විවිධ අදහස් බුකිය තුල හුවමාරු වෙමින් තිබේ. එහෙත් ඊට එකඟ වන්නට නම් බැරිය. මම ඔය හුජ්-ජාතිවාදී සෙට් එකේ හෝ ජාතිකවාතකාර සෙට් එකේ හෝ නොවන බව උඹහැ දන්නවා ඇත. ඒ ඇරත් මට මුස්ලිම් එව්වෝ එක්ක අමුතු මළක් නැතිය. උනුත් මිනිස්සු ය. මට මනුස්සකම අනිත් සේරටම වඩා වටින්නේ ය. මා එක්ක බොක්කෙ ෆිට් මුස්ලිම් එව්වෝ ද අම්බානක සිටිති. හැබැයි මම වනාහි ඉස්කොප්පෙට ඉස්කොප්පේ කියනවා මිසක් "හස්තසාරභූමිඡිද්‍රකොපකරණය" (අතින් අරං පොළොව හිල් කරන උපකරණය) කියන එකෙක් නොවන බව උඹ දන්නවා ඇතයි සිතමි. එනිසා මේ මළ උලවූ නිකාබය තහනම් කිරීම එක සිතින් අනුමත කරන බවද කියා සිටිමි.

මිට මාස කිහිපයකට පෙර ඔය සරසවියෙම තිබු බෝගහ, ආගමික සහජීවනය යැයි කියමින් කපා දමන ලද ආකාරය උඹට මතක ඇතැයි සිතමි. එසේම මීට පෙරද ග්‍රෑන්ඩ්පාස්හි අනවසරයෙන් අටවාගෙන තිබු යාඥා මඩුව ඉවත් කරන්නට ගිය විට, අන්තිමේදී අහක තිබු බෝ ගහකුත් කපා දමා කෙළවර වූ හැටි ද මතක් විය යුතුය. කාක් බෝ ගස් කැපීම ගැන මගේ නම් බලවත් මෙවුව එකක් නැත. එහෙත් එදා එහෙම හැසිරුණු උන්දෙලා අද මෙහෙම හැසිරෙන කොට යන්තමට වගේ ඔක්කාරයක් නම් එන වග නොකියා බැරිය.

රටේ නීතියක් කියල එකක් තියෙන්නේ ය. ඒ නීතිය ජනවර්ගයෙන් වර්ගයට, ජාතියෙන් ජාතියට, ආගමෙන් ආගමට වෙනස් වෙන්න හැකියාවක් ද නැත්තේ ය. එහෙම වෙන්නට ඕනෙද නැත්තේ ය. රටේ ඉන්නා එව්වෝ එක්කෝ ඒකට එකඟ වෙන්න ඕනේ ය, බැරිනම්, එහෙම තමන්ට ගැළපෙන රටක් හොයාගෙන යන්න ඕනේ ය. අදටත් ලංකාවේ ඉන්නා සමහර එව්වෝ අවුරුද්දකට සැරයක් සෞදි යන්නේ "ගොයින් හෝම්" කියා කටපුරා කියමිනි. මේ රටට වරෙල්ලා කියා අපි කාටවත් කිව්වේ නැත. හැබැයි මේ රටට සංක්‍රමනිකයෝ වශයෙන් ආපු කිසිම කෙනෙක්ව අපි එළවලා ද නැත්තේ ය.. හැබැයි කරේ තියාගන්නෙත් නැත්තේ ය. ඉන්නවා නම් ඒ විදියට ඉන්න පුළුවනි ය. බැරිනම් යන්න පුළුවනි ය..
"ද ලාස්ට් ටයිම් අයි චෙක්ඩ්, දිස් වොස් අ ඩිමාක්‍රටික් රටක්" ය..

ඕනෙම රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගන්න ඕනේ තීන්දු තීරණ තියෙනවා ය.. තමාව ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයකදී හඳුනාගත හැකි වීමට ඕනෑම රටක පුරවැසියෙක් නීතියෙන් බැඳිලා ඉන්නවා ය. ඒකට මේ ආගම් ජාති වගේ තොත්ත බබී කතා නෑ ය.. "නිකාබය ඇන්දට මොකෝ ගේට්ටුවෙදී මූණ පෙන්නනවා නම්" කියල ගොන්ත කතාද සමහරු කියා තියෙනවා දැක්කෙමි ය.. යකඩො හෙනං මමත් හෙට මොරටු යනවා ය.. යන්නේ බෑග් එකේ බුර්කාවක් දමාගෙන ය.. ගිහිං ටොයිලට් එකේදී මාරු කරගෙන මුළු කැම්පස් එකේම මුස්ලිම් කෙල්ලෙක් විදියට ඇවිදිනවා ය. දැන් ඒක ගැහැණුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයිද යන්න මට මාර පුරස්නයක් ය.

ඇත්තම කියනවා නම් අපි මුස්ලිම් ප්‍රජාවට නීති විරෝධී ලෙස අනවශ්‍ය අයිතිවාසිකම් රාශියක් දැනටත් ලබාදෙනවා ය.. හොඳම උදාහරණය ඔවුන්ගේ විවාහ නීතිය ය.. ඒ යටතේ වයස සම්පූර්ණ නොවූ කිරි දැරිවියන් පවා අමු අමුවේ නීත්‍යානුකූලව දූෂණය කරන්න නීතියෙන්ම ඉඩ ප්‍රස්ථාව ලබාදීල තියෙනවා ය.. ATM බූත් එකකට යන්න, හෙල්මට් දාගෙන යන්න අපට බැරිය, නමුත් මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව දමාගෙන මූණ පමණක් නෙමේ හැම එකම වහගෙන ඇතුළට යන්න පුළුවන් ය.. මේක මහ විකාරයක් කියනවා ඇරෙන්නට වෙන මක්කා කියන්නද කියා දන්නේ නැතිය.

නිකාබය ගැන කියන ගොඩක් උන්දෙලා කියන්නේ එය ඔවුන්ගේ ආගමික අයිතියක් බැවින් එය ආරක්ෂා කළ යුතු වගකි. එසේ නම්, හෙට දින මවිසින් ආරම්භ කරන්නට යෙදෙන 'ඉන්ෆිඩලිසම්' නම් වූ අලුත්ම ආගමේ හැටියට, ඉන්ෆිඩෙල් ලා නොවන, එනම් මුස්ලිම් ආගමික සියල්ලන්ගේම බෙලි කැපීම මගේ ආගමික අයිතියක් බවත්, එසේ නම් ඊටද ඉඩ ලබා දිය යුතු බවත් මම ප්‍රකාශ කර සිටිමි.


-චමීර දෙද්දුවගේ-
(Monday , 16/12/2013)
(https://www.facebook.com/cjdrox)


[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ] 

Wednesday, December 11, 2013

දොරට වඩින දා... REALITY

මේ ලිපිය ලියන මේ මොහොතේ, කොළඹ මහජන පුස්තකාලෙ "REALITY" නමින් කෘතියක් එලිදැක්වීමේ උත්සවයක් පැවැත්වෙමිනුයි තියෙන්නෙ...
කාලයක් තිස්සෙ එකමුතුව දරපු උත්සාහය සඵල වෙන අවස්ථාවෙදි, හරක ඉන්නෙ ඊට සහභාගී වෙන්න බැරි තරම් දුරක නිසා මේ කෙටි සටහන ලියන්න හිතුනා.

"REALITY" කෘතියෙ තියෙන්නෙ නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය විසින් නිෂ්පාදනය කරපු "REALITY" , "සීගිරි කාශ්‍යප" , "තුන් මාසෙ දානෙටවත්" යන කෙටි නාට්‍ය තුනේ පිටපත් සහ ඒ නාට්‍ය වෙනුවෙන් පලවූ විචාරයි.

හරකට චන්ද්‍රා අයියව(නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය) මුණගැහෙන්නෙ 2007දි ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේදියි. මුලින්ම හරකව නාට්ටියක රඟපාන්න ගත්තෙ ඔහුයි. ඒ, ඔහු විසින් නිෂපාදනය කල "240'240 සිට..." නාට්‍යයටයි. ("දෙසිය හතලිහයි දෙසිය හතලිහේ සිට.."  ; මෙය Harold Pinter 'ගේ "Victoria Station" නම් නාට්‍යයේ පරිවර්තනයකි. පරිවර්තනය කලේ ජූඩ් රොයිස්ටන්) මේ නිසා හිතේ කොනක ඉතුරුවුන පහන් හැඟීම තමයි, පසුව කෙරුනු චන්ද්‍රාදිත්‍යගේ හැම නාට්‍යකටම හැකි පමණින් උදව් කිරීමට හරකව පොලඹවන්නෙ. එය කෙනෙකුට අනුව සත්ගුණවත් ක්‍රියාවක් වෙන්න පුලුවං. තව කෙනෙකුට අනුව දෙකයි'පනහෙ මෝඩ වැඩක් වෙන්නත් පුලුවං. චන්ද්‍රාදිත්‍යගේ සමහර මතවාදී අදහස් එක්ක හරකා එකඟ නෑ. සමහර පුද්ගලික ගතිගුණ හරකට දිරවන්නෙත් නෑ. නමුත් ඒවා කලා නිර්මාණයකදි බාධාවක් වෙන්නෙ නැත්තං ඊට දායක නොවීම, තවදුරටත් චන්ද්‍රාදිත්‍යගේ ගැටලුවක් නොව තම තමන්ගේ අභ්‍යන්තර ගැටලුවක් කියලයි හරකට කියන්න වෙන්නෙ.
මේ.., හරකාගේ අත්දැකීමයි.

නේරන්ජන් චන්ද්‍රාදිත්‍ය යනු නාට්‍ය ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන චරිතයක් නෙමෙයි. ඊට හේතු විමසුවොත්, අහවල්'අහවල් සිද්ධි නිසා කියලා පිළිතුරු ලැබේවි. නමුත්, ඇත්තම කාරණය නම් ඔහුගේ කියවිල්ල අනෙකාට දරාගත නොහැකි වීමයි. නමුත් ඒ අකමැත්ත පිට වෙන්නේ වෙන වෙන ආකාර වලින්. කෙනෙකුට වචන 10කින් කියල'දාන්න පුලුවං දෙයක් කියන්න වචන 500-600ක් පමණ අවශ්‍ය වෙන කෙනෙක් ගැන හිතලා බැලුවොත් තේරෙනවා ඒක හෙනම'කට්ටක් කියලා. හරකත් චන්ද්‍රා අයියා එක්ක මේ අවුල ගැන ඉතාම විවෘතව කතා කරල තියෙනව,. ඔහුටත් තමන්ගේ කතාව තව කෙනෙක්ට දරාගන්න බැරි තරම් දිග වැඩි බව තේරුණත් කතා බහ කරන වෙලාවට එය පාලනය කරගැනීමට ඔහු අසමත්. මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයයි, ඒක' පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නෙ කොහොමද කියන එකයි විද්‍යාත්මක පසුබිමක් ඇතුලෙ තේරුම් ගත්තු කෙනෙකුට නං මේ අවුල "පුද්ගල ස්වභාවයක්" බව තේරුම් ගන්න පුලුවං. චන්ද්‍රාදිත්‍ය යනු දු‍ටු විට ප්‍රිය උපදවන පෙනුමක් ඇති කෙනෙක් නෙමෙයි. ඉතිං ඒකටම ලොකු කියවිල්ලකුත් එකතු උනහම තව කෙනෙකුට දරා ගන්න බැරි එක / ප්‍රතික්ෂේපිත හැඟීමක් ඇති වීම සාධාරණයි. නමුත්, ඒ අයගෙන් හරකාට අහන්න තියෙන්නේ
"තොපි ඔක්කොම සර්ව සම්පූර්ණද ??? " කියලයි.
මේ..,
තවත් කෙනෙකුගේ වෙනස දරාගැනීමට ඇති නොහැකියාවයි.
අපි ඕනම කෙනෙක්, තවත් කෙනෙකුගේ වැ‍රැද්දක් හෝ අඩුපාඩුවක් ගැන කතාබහ කිරීම'(අදාල කෙනා ඉඳිද්දී හෝ නැති තැන) වැරදියි කියලා හරක හිතන්නෙ නෑ. හැබැයි තවත්'කෙනෙකු තමන් අකමැති පුද්ගලයෙක් වීම නිසාම, ඔහුගේ සියලු කටයුතු පාච්චල් කොට අදහස් දැරීම සහ වෙනත් අයටත් ඒ අදහස් පැතිරවීම ඉතාම පහත්, අමන, තුච්ඡ ක්‍රියාවක්. කොහොමත් කලාව විතරක් නෙමෙයි, කොයි'දේකදි උනත් ඒක ලංකාවෙ වැඩි දෙනෙකුගෙ ගතිය..

මේ වගේ ප්‍රතික්ෂේපිත පසුබිමක නාට්‍ය කිරීම'ම හරකාට අනුව නම් ඉතා අගය කල යුතු කාරණයක්. අද දින "REALITY" කෘතිය එලිදැක්වීමේ උත්සවයටද, ආරධනා කරන ලද අය අතරින් පැමිණෙන්නේ ඉතාම අල්ප පිරිසක් බව හරක දන්නව. ඒ "මිනිස්කම, මිනිස්කමට එහා ගිය මානයකින්" දකින ලංකාවේ සත්ගුණවත් කලාකරුවාගේ ස්වභාවයයි.

චන්ද්‍රාදිත්‍ය'ගේ "REALITY" සහ "සීගිරි කාශ්‍යප" යන නාට්‍ය 2 හැරුනු විට ඉතිරි නාට්‍ය අසාර්ථක වුනා. ඔහුගේ නාට්‍ය සඳහා හැමදාමත් ආධුනික නළු'නිළියන් පමණක් යොදා ගැනීමට සිදු වෙන්නේ, බැලූ'බැල්මට ඔහුගේ වැරදි යයි හැ‍ඟෙන' නමුත් අනෙකාගේ කුහක කම නිසයි. ඉතා බර'සාර ගැඹුරු චරිත නිරූපණයක් ආධුනික නළුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අධ්‍යක්ෂණයේ හෝ පිටපතේ හෝ රංග'වින්‍යාසය ආදී අනෙකුත් කරුණු ඉතා හොඳින් සැපිරෙද්දී ආධුනික නළු'නිළියන් යොදාගැනීම නිසාම අසාර්ථක වුනු නාට්‍ය හරකා විසින් දැක ඇත්නම්, ඒ චන්ද්‍රාදිත්‍ය'ගේ නාට්‍ය'යි. (සමාවෙන්න , මෙය ලියන හරකා'ද මහලොකු නළුවෙක් නොවන අතර මේ ආධුනික නළු'නිළියන්ට සමච්චල් කිරීමක් නෙමෙයි)

අද එලිදකින "REALITY" කෘතියට අදාලව, "REALITY" කෙටි නාට්‍ය ගැන, හරකාට වැඩි යමක් කියන්න පුලුවං. අපි මේ නාට්ටිය පටං ගත්තෙ, එහි එන චරිත 8 සඳහා නළුවන් පුහුණු කිරීමට වැඩමුලුවක් පවත්වා අවසානයේ නළුවරණයක් මගින් නළු'නිළියන් ‍තෝරාගෙනයි. හරක මේ නාට්ටියෙ රඟපාපු "කුසල්"ගේ චරිතයට නළුවරණයෙදියි, පස්සෙ ගොඩක් කාලයක් යනකනුයි සුදුස්සෙක් සොයාගන්න බැරි'උනා. අන්තිමට හරකා "කුසල්"ව බාරගත්තා... ඇත්තටම නළුවෙක් නැති'උනේ ඊට සුදුසු අය නැති නිසා නෙමෙයි. හරකා කලිනුත් කියපු, පුද්ගල ස්වභාවයක් දරාගත නොහැකි, අනෙකාගෙ වෙනස ඉවසාගත නොහැකි පිරිසක් නළු'නිළියන් වී සිටින නිසයි...
චන්ද්‍රා'අයියටයි හරකටයි ඒ'කාලය පුරාම නළු'නිළියෝ හිඟාකන්න සිද්ධ'උනා REALITY වෙනුවෙන්..
යම් ස්ථාවරයකට ඇවිත් ඉන්න සමහර නළුවන්ට පිටපත දුන්නම, ඒක ප්‍රතික්ෂේප කලේ චරිත 8ක් කෙටි නාට්‍යක් සඳහා යොදාගැනීම ඉතා මෝඩ බවත්, එය කිසිදා සාර්ථක නොවන බවටත් මහා දාර්ශනික උදාහරණ'ද ඉදිරිපත් කරමිනුයි. එවැනි සිද්ධි වලිං අපට පසක් වුනේ නම් ඔවුන් කෙටි නාට්‍ය, කලාවක් ලෙස ලෝකයේ ලබා ඇති දියුණුව ගැන කිසිවක් නොදන්නා බැටලුහම් පොරවාගෙන පොර ටෝක්ස් පමණක් දෙන අය බවයි. බොහෝ අය චරිත හැර ගියේ වෙන වෙන අයගේ කතා ඇසීමෙන්. "චේතනා" යන චරිතයට නිළියන් 17ක් ඇතුලුව චරිත 8 සඳහාම පුහුණුවීම වලට පැමිණ චරිතය අතෑරලා ගියපු නළු'නිළි ප්‍රමාණය 39 දෙනෙක් බව සමහරවිට මෙය කියවන ඔබ කවුරුවත් පිළිගන්න එකක් නෑ. කොහොම'නමුත් දක්ෂයෝ නොවුනට එකා'වන් හැඟීමකින් වැඩ කරන්න පුලුවං පිරිසක් අන්තිමට ඉතුරු'උනා. ඒ හැමෝගෙම මහන්සියෙ ඵලයක් විදිහට REALITY නාට්‍යය ඉතාම සාර්ථක වුනා. රට පුරා දර්ශණ වාර 60ක් පමණ පෙන්වන්නත් පුලුවං වුනා.(මේ වන විට ලංකාව තුල කෙටි නාට්‍යක් දර්ශණ 25ක් 30කට වඩා පෙන්වන්න හැකිවීම'ම ඉතා දුලබ කරුණකි) ඒ'වගෙම REALITY ජාතික නාට්‍ය උළෙල හා යොවුන් නාට්‍ය උළෙල ඇතුලු නාට්‍ය උළෙල 5කදී බොහෝ ඇගයීම් වලට පාත්‍ර වුනා.

REALITY සමඟ ගතකරපු කාලෙ ගැන ආපහු කල්පනා කරද්දි හරකට දැනෙන්නෙ ලොකු සතුටක්. ඒක හරකගෙ ජීවිතේට ගොඩක් අත්දැකීම් එකතු කරා වගේම, ඒ කාලය තුල හදාරමින් සිටි ගොඩක් දේවල් වඩා පුලුල්ව හොයල බලලා ඉගෙන ගන්නත් හරකා පෙලඹුනා.

ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් අද එලිදකින "REALITY" කෘතියෙ එන, REALITY නාට්‍යයේ පිටපතත්, "සීගිරි කාශ්‍යප" හා "තුන් මාසෙ දානෙටවත්" යන නාට්‍ය වල පිටපතුත්, නාට්‍ය අධ්‍යයනය කරන කෙනෙකුට ඉතා ගැඹුරින් සාකච්ඡා කරන්න පුලුවං සහ අධ්‍යයනයේදී බොහෝ දේ පරිශීලනය කරන්න සිදුවෙන පිටපත් 3ක්...  ඒවගේම පුද්ගලික අමනාපකම් වැනි කණ්නාඩි දාගෙන මේ පොත කියවිය යුතු නැති බව, විශේෂයෙන් කියන්න ඕනෙ...

***
REALITY නාට්‍යයට අදාල සියළු දේ සඳහා, කිසිම පැකිලීමකින් තොරව බරපැන දැරූ දමිත් විතාරණ මහතාට REALITY නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් හරකා ස්තූතිවන්ත වෙනවා...

ප.ලි.



Casting Workshop for 'REALITY' short play (2011.3.2 to 2011.5.15)

Saturday, November 30, 2013

තෝත් කැම්පස්ද ?


‍තෝත් කැම්පස්ද ?
බ්ලොගක් ලියනවද ?

නැත්තං ලියන්න හිතං ඉන්නවද ?
එහෙනං ඕං තැන...
කොටා බලාපිය !


Sunday, November 17, 2013

නෝනිසාලංකාරය...

දැන් හැමෝම ක්‍රිස් නෝනිස් ආතල් එක අරං හිතේ හැටියට ඉවර ඇතැයි කියල හිතන නිසයි මේ ටික ලියන්නේ (කොහොමත් ඔය චුවිංගම් එකෙන් අපිට ආතල් එකකට කියල ඉතුරු වුණේ සිරිකොතේ ත්‍රාසජනක සටන් ජවනිකාවයි, නෝනිස් මහත්තයගෙ පට්ට කඩ්ඩයි විතරයි.)

ක්‍රිස් නෝනිස් කියන්නේ තානාපතිවරයෙක්. ඔහුගේ රාජකාරිය කොන්දේසි විරහිතව සිය මාතෘ භූමියේ ප්‍රතිපත්ති, විවේචනයෙන් ආරක්ෂා කිරීම. ඔහු ඒ රාජකාරිය අන්තිම විශිෂ්ට මට්ටමින් කළා. ඒකෙ සැකයක් නෑ. නමුත් ඔහුගේ කතාව දහ-දොළොස් පාරක් අහද්දී දැනෙන සරලම දේ තමා, LLRC කමිටු වාර්තාව ඇරෙන්න ඔහුට වෙන කියන්න දෙයක් නැති බව. මේ පාරට අර මනුස්සයාගේ හැකියාව නිසා බේරුණාට, මින් ඉස්සරහට නම් අපේ උන්දෙලාට ජාත්‍යන්තරයට පෙන්නන්න මීට වඩා දෙයක් කරල තියන්න වෙයි.

සාකච්ඡාව ගැන කියනවා නම්, ඉතුරු ටික ඉතිං නිවේදකයාගේ මොට්ටකම. සිය සම්පත් දායකයා (සිය අතීත යටත් විජිතයකින් ආපු) කල්ලෙක් වීම නිසාම, ඔහුට කඩ්ඩ බැරිය, ඔහු වෛද්‍යවරයෙක් වීම නිසාම ඔහු නීතිය/දේශපාලනය දන්නේ නැතිය කියල උපකල්පනය කරලා ඔහු අවතක්සේරු කිරීමේ ආනිසංසය තමා, සුද්දා ට්‍රේනිං ගිය කාලේවත් අහල නැති මට්ටමේ කඩ්ඩෙන් කන්දෙක පිරෙන්න අහගන්න ලැබීම.

ඊළඟ පට්ටම ආතල් එක තමා දැන් ක්‍රිස් නෝනිස් මහත්මයාව උඩ දාගෙන පුම්බන බොහෝ දෙනා, ඔහු එංගලන්තයේ උගත්, බටහිර අධ්‍යාපනය ඉහළින්ම ලැබූ, සිංහල කතෝලිකයෙක් බව නොදැනීම. සිංහල වෙන්න නම් බෞද්ධ වෙන්ඩ ඕනේ, කතෝලිකයෝ සිංහලයෝ නෙමෙයි කියල කෑගහන, ඉංග්‍රීසි දැනුම සහ සුද්දගෙ දැනුම තුට්ටුවට දාල කතා කරන, "කැම්පස් ලොකු නෑ / බටහිර විද්‍යාව ලොකු නෑ" කියල කියන "ජාතිකවාතකාර" උන්දෙලා, (දොර-මඩ-ලා ගන්න ප්‍රෝග්‍රෑම් වලදි බටහිර අධ්‍යාපනයට එරෙහිව කෙස්පැලෙන විචාර දෙන ගමන් තමන්ගේ දරුවන්ට ඉහළින්ම බටහිර අධ්‍යපනය දෙන මහැදුරුතුමන්ලාත් ඇතුළුව) දැන් මොකද කියන්නේ? බටහිර අධ්‍යාපනය ලද, කතෝලික, කඩ්ඩෙන් කතාකරන, ආදී ජෝසපියන් කෙනෙකු වන ක්‍රිස් නෝනිස් මහතා සිංහල ද? නැද්ද? දීහල්ල බලන්න උත්තර.

ඊළඟට: විදේශයක ඉගෙන ගත්තු කතෝලික ක්‍රිස් නෝනිස් මහතා අපේ රට වෙනුවෙන් ලොව ඉහළම ප්‍රවෘත්ති නාලිකාවක් වන CNN සමග වාග් ප්‍රහාරයක ඉඳිද්දි, අපේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක් වන, සංකේතය පවා සිංහල බෞද්ධ සංකේතයක් වන, නමට "ජාතික" කෑල්ල අලවගත්තු, හොඳ සිංහල නමක් තියෙන පක්ෂ මූලස්ථානයක එක්රැස් වෙච්ච අපේ රටේම මිනිස්සු, චැනල් 4 කියන ටැබ්ලොයිඩ් ගණයේ නාලිකාවකට පේන්න "යුද අපරාධ" වලට සාක්ෂි රැගත් ඡායාරූප ප්‍රදර්ශනයක් තියනවා. දැන් කවුද දේශප්‍රේමියෝ, කවුද දේශද්‍රෝහියෝ? සිංහල බෞද්ධ ලකුණක් දරන පක්ෂය ද, අර බටහිර හැදී වැඩුණු කතෝලිකයා ද?

ඊළඟට: යුධ අපරාධ ගැන අපෙන් ප්‍රශ්න කරන නාලිකා දෙකක් මේ සතියේ අපි දැක්කා, සමගාමීව. එකක් CNN, අනික චැනල් 4. චැනල් 4 විරෝධයට වැඩියේ බුද්ධ චීවරය ඇඟේ දාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. CNN එක්ක හැප්පුණේ කතෝලික ගිහියෙක්. දැන් මේ දෙකෙන් වඩා සාර්ථක වුණේ කවුද? අසාර්ථක වුණේ කවුද? එක්කෙනෙක් නිසා ජාති ආගම් භේදයකින් තොරව රටක් ආඩම්බර වෙද්දී, අනිකා නිසා බෞද්ධයන්ට පාරේ බැහැල යන්න බැරි මට්ටමට ඇවිල්ල තියෙනවා. දැන් අපි තෝරාගන්න ඕනේ කාගෙ ප්‍රතිපත්තිය ද?

මෙන්න සරලම සමාලෝචනය: "පිරුණු කළේ - දිය නොසැලේ".

ප.ලි: තව පොඩ්ඩෙන් අමතක වෙනවා. සිරිකොත සිද්ධිය ගැන එක්තරා මහාචාර්යවරයකුගේ පැහැදිලි කිරීම ලබන සතියේ පුවත්පතේ යන්නේ මෙහෙමයි.

"ගැසීම යන ක්‍රියාපදය තුළ, ගසන්නෙක් සහ ගුටි කන්නෙක් ඉන්නා බවක් අදහස් වේ. හරියටම වැටෙනවා කී විට ඉබේම 'උඩ/යට' යන සංකල්ප ඇතුලත්ව ඇත්තා සේ ය. මෙකී පහර දෙන්නා සහ පහර කන්නා වශයෙන් ද්වියාර්ථයක් ඇත්තේ බටහිර ග්‍රීක් යුදෙව් ක්‍රිස්තියානි ද්විකෝටික තර්කන ක්‍රමය තුළ ය. අපට අනුව නම් ඕක ද්විකෝටිකය නොව චතුෂ්කොටිකය විය යුතුය. එනම්, ගැහුවා, ගැහුවේ නෑ, ගැහුවේ නැත්තේ නෑ සහ ගැහුවේ නැතුව නොහිටියේ නෑ වශයෙන් අවස්ථා හතරක් පවතී. දැන් අපි ගැසීම යන පදය මෙසේ විභේදනය කරනු දුටුවිට මෙරට අනුකාරක පඬියන් සහ බටහිරින් ගෙන්වා බෙදාහරින පුස්කාච්ච දැනුම් ඇන්කරයන්, ගැහුවා නම් කවුරු කාටද කියා විමසන බව අපි දනිමු. ගසන්නෙක් හෝ නොගසන්නෙක් හෝ, නොගසා ගසන්නෙක් හෝ, නොගසා නොසිටින්නෙක් වශයෙන් පුද්ගල පඥ්ඥප්තියක් ඇත්තේ ඊශ්‍රායලයේ මෝසෙස් ගේ ඊනියා හීබෘ-දේවවාදී බටහිර රේඛීය චින්තනය තුළ මිස, අපේ දේශීය සිංහල බෞද්ධ චක්‍රීය චින්තනය තුළ නොවේ. අපට අනුව මෙතැන සත්ත්ව පුද්ගල පඥ්ඥප්තියක් නැත. ඇත්තේ පංචස්කන්ධ පමණි. එසේ සත්ත්වයෙක් සිටිනවා, එනම් ගසන්නෙක් සිටිනවා ය කීම මනසේ නිර්මාණයක් වෙයි. මනස ද මනසේ නිර්මාණයක් ම බැවින්, මා එකදාස් නවසිය බරගණන් වල 'මගේ මෙවුවා එක' නම් පොතේ අහවල් පිටුවේ යට දාරයේ විස්තර කර ඇති ආකාරයට, මෙහි ගත යුත්තක් හෝ විභේදනය කළ යුත්තක් නැතිව යයි. මෙය සම්බන්ධයෙන් අප එතරම් කලබල නොවිය යුත්තේ එබැවිනි. එහෙත් අප කලබල විය යුතු දෙයක් ද තිබේ. එනම්, මේ හරහා පරාජිත විදුලි වසන්තය, රතුපස්වල ජල වසන්තය, වෙනුවට (අනාගත ක්‍රිකට් වසන්තය එනතුරා) ගුටි වසන්තයක් බිහිකරගන්නට සහ එමගින් මේ දේශප්‍රේමී ආණ්ඩුව පෙරළා දමන්නට කැස කවන, දෙමළ වෙල්ලාල ඩයස්පෝරාවේ ඩොලර් කාක්කන්ගේ රූකඩ බවට පත්ව සිටින, ඇමරිකාවේ නූල් සූත්තර අනුව නැටවෙන, දේශද්‍රෝහී කාලකන්ණි බලවේග සූදානම් වෙමින් සිටින බව පෙනේ. අප මේ මොහොතේ සියලු විවාද පසෙක ලා අපේ අතිගරු ජනපති තුමා මෙකී බලවේග වලින් බේරාගෙන රැකගත යුත්තේ එබැවිනි. "


-චමීර දෙද්දුවගේ-
(Sunday , 17/11/2013)
(https://www.facebook.com/cjdrox)


[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

Sunday, October 27, 2013

අත්තම්මලා'ගේ තේරීම - අත්තානං

ජාතික යෞවන නාට්‍ය උළෙල අවුරුදු පතා පවත්වන්නෙ ජාතික තරුණ සේවා සභාව මගින්.(හැමෝම කටවහරෙ කියන 'යූත්' එක මගින්.) උළෙලේ 1, 2, 3 ස්ථාන ලබන කෙටි නාට්‍ය තුන ' රට වටේ පෙන්නන්න දිස්ත්‍රික්ක 25හේම දර්ශණ 25ක් සංවිධානය කරදීමේ වැඩපිළිවෙලක් යූත් එකෙං පටං ගත්තා 2007'දි. හැම රජයේ වැඩකටම වෙනවා වගේ මේ ප්‍රොජෙට්‍ටුවෙත් අව කැපිලා, ඇස්වහ'කටවහ දුරු වෙලා, තන්ත්‍රයට තැලිල'පොඩිවෙලා, ලොකු පු‍ටු වල ඉන්න බූරු පුත්තුංගෙ ආණ්ඩුවට සල්ලි ඉතුරු කරල දෙන යෝජනා වලිං පෙරිලා එද්දි අන්තිමට ප්‍රතිපාදන'ද මොනවදත් ගොඩක් අඩුවෙලා, දර්ශණ 25ත් 20කට අඩු වෙලා තිබුණ. නාට්‍ය කණ්ඩායම විසින්, දර්ශණයකදි තමන්ට ගෙවන මුදලින් ආහාර සපයා ගැනීම , රංගාලෝක උපකරණ වල කුලිය ගෙවීම ආදී විවිධ වියදම් දරා'ගතයුතු වුනා.

උන්නට වඩා මලා හොඳයි කියන්නා වගේ මුල්'තැන් ලබන යොවුන් කෙටි නාට්‍ය'කරුවොත් 'මොන මොන තර්ක'විතර්ක'යෝජනා ඉදිරිපත් කරලා ඒවා ඉ‍ටු'නොවුනත්, මේ රටපුරා සංචාරෙට එකතු උනා/වෙනවා. මොකද, බඩු පැකට් වෙමින් යන නාට්‍ය'කලාවක් හිමි ලංකාවෙ අලාභයක් නැතුව රට'පුරා කෙටි නාට්‍යක් පෙන්නන්න ලැබෙන එකම නාට්‍ය'කරුවන්ට ලොකු දෙයක් නිසා.

හරකත් 2009දි 'අත්තානං' කෙටි නාට්‍යයෙන් මේ ගමනට එකතු වෙලා ලබපු අත්දැකීම් වලිං බිඳක් ලියල දාන්නයි මේ හදන්නෙ...
අත්තානං
by Harsha Thennakoon

වැඩේ යන්නෙ මෙහෙමයි. යූත් එකේ සංස්කෘතික අංශය මගින් යූත්'දිස්ත්‍රික් කාර්යාල වලට දින ලබා දීල, ඒ ඒ දින'වලදි නාට්‍ය සංවිධානය කරන්න කියලා පවරනවා. අදාල ප්‍රතිපාදන, පොස්ටර්, හැන්ඩ්'බිල් ආදිය වෙන'වෙනම ඔවුන්ට යවනවා. දිස්ත්‍රික් කාර්යාල වලිං මේ'වැඩේ, ප්‍රාදේශීයව තියෙන යෞවන සමාජ වලිං මොකකට හරි දෙනව සංවිධානය කරන්න. ඉතිං ඒකෙ ඵලයක් විදිහට' ජීවිතේ පළමු වතාවට නම අහන්න ලැබෙන හද්ද පිටිසර ගමක' කිසිම පහසුකමක් නැතුව, 'හෝල් එකක ඡායාවක් ගෑවිලා තියෙනවා' කියලා හිතාගන්න පුළුවං මොකක්හරි පාසල් ගොඩනැගිල්ලක නාට්‍ය පෙන්නන්න වෙන අවස්ථා බහුලයි.

කෙටි නාට්‍ය තුන පෙන්නන්න සිද්දවෙන්නෙ මොනවගේ තත්වයක් යටතේද කියන එක මේ සංවිධායකයා මත රඳා පවතිනවා. මේයාලා නාට්‍ය තියා මොන කලාවක් ගැනවත් සංවේදී නැති, තේරුමක්/දැනුමක් නැති ' කොටින්ම මෙලෝ රහක් නැති රජයේ සේවකයො පමණයි. ඉතිං තමංගෙ ජොබ් එකේ කොටසක් විදිහට, කෙසේ හෝ පැවරුනු දේ කරල ඉවර කරන එක ඇරෙන්න' ඊට වඩා දෙයක් මේ සංවිධායකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.

මේ අතරෙ නාට්‍ය දර්ශණ සංවිධානය කරන්න පැනලා/රික්වෙස්ට්'කරලා බාරගන්න යෞවන සමාජ සාමාජිකයොත් ඉන්නවා. ගොඩක් වෙලාවට එයාලගෙ අරමුණ ඒ පලාතෙ කවුරු'හෝ මන්ත්‍රියෙක් මේකට ගෙන්නගෙන එයාලගෙන් තමන්'ට හොඳ නම ලබාගැනීම , නැත්තං මොකක් හෝ ඉදිරි අරමුණක් සඳහා ගම තුල ප්‍රසිද්ධ වීමේ මොකක්හරි වෙනම ඇජෙන්ඩා එකක්...
ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබුණු දෙයක් තමයි, උදේම හෝල් එකට යද්දි අතුගාල'පිරිසිදු කරලවත් නෑ, වේදිකාවෙ කැඩිච්ච ඩෙස්ක්'පු‍ටු ගොඩ'ගහලා. හැබැයි ඒ හැමතැනකම මල්'වැලුයි, එක එක හුටප්පරයි පුරවගෙන පොල්තෙල් පහන් ලෑස්ති කරන පිරිසක් නං අනිවාර්යෙන් ඉන්නවා. අපි කිව්වට පස්සෙයි උංට ස්ටේජ් එක මතක් වෙන්නෙ...(කොහොමත් ලංකාවෙ ගොඩක් වැඩ එහෙමනෙ.. ඔක්කොමත් හරි ' පොල්තෙල් පහනත් හරි.. පහනට ගිනිතියලා සංස්කෘතිය ‍රැක ගන්නවා මොනවා නැතත්..)
කොහොම'නමුත් මේ සංවිධායකයො අතරෙ ඉතාම හොඳින් නාට්‍ය සංවිධානය කරලා තිබුණු දෙතුන්'දෙනෙකුත් හිටපු බව මතක් කල යුතුයි.

නාට්‍ය දර්ශණ පවත්වන්නෙ' පාසල් දර්ශණයක් සහ මහජන දර්ශණයක් ලෙසයි. පාසල් දර්ශණයට පෙර, පැමිණි පාසල් වල නාට්‍ය හා රංග කලාව හදාරන ළමුන්ට පුංචි වැඩමුලුවක්'ද නාට්‍ය'කරුවන් විසින් කලයුතු වෙනවා.

2009දී මේ ගමනට එකතු'උනේ ගයාන් දේශප්‍රියගේ "කූඩුවට එනකං" , චාමර ගුරුගේ'ගේ "පෙම් යුවලක් සහ පෙම් යුවලක්" , හර්ෂ තෙන්නකෝන්'ගේ "අත්තානං" යන කෙටි නාට්‍ය තුනයි. යූත් එකෙං දිනෙයි වෙලාවයි දුන්නම අපි සෙට්'එක යූත් එකට යනවා. යූත් එකේ ප්‍රවාහන අංශය මගින් අදාල තැනට අපිව එක්ක'යනවා. නාට්‍ය තුනේ සෙට් එක' ලයිට් බඩු ආදිය වෙනම ලොරියක අරං යනවා.

"පළමු වැසි දිනය"
අපරාදෙ කියන්න බෑ' යූත් එකෙං නාට්‍ය කණ්ඩායම ෂෝ'ස් වලට එක්කං ගියේ එයාලගෙ සුඛෝපභෝගීම බස් රථයෙන්. සමහර ආසන වල වාඩි වෙලා යද්දි දැනෙන්නෙ කපු‍ටු කූඩුවක් උඩ යනවා වගේ..වැස්සකට අහු'උන මුල් දවසෙ තමයි දැනගත්තෙ පිටිපස්සෙම ආසන පේලි දෙක වැසි ජලයට ගෝචර බව.. වැහි දින වලදී ඇඟට වැටෙන ජල බිංදු වලිං වහනය'උනු මලකඩ සුවඳ  අපේ ගමනට අමුතු රසයකුත් එකතු කලා. කොහොම'උනත් වැහැපු මුල් දවසෙන් පස්සෙ, වැස්සකටවත් කුඩයක් ඉහලන්'නැති අපේ'උං ෂෝ එකකට යනවනං බස්'එක ඇතුලෙ ඉහලගන්න 'අනිවා ගෙනියනවා කුඩ..
දවසක් බදුල්ලෙ ෂෝ එකට ගිහිං පහුවදාට මොණරාගල ෂෝ එකට යන්න තියෙන නිසා කොහේදෝ'මංද කඳු'පල්ලං'වංගු වැඩි පැත්තක අපි ගිහිං නැවතුනා. පහුවදා උදේම ඩ්‍රයිවර් අයියා බස්'එකේ මොකද්ද ඇටයක් රෙපෙයාර් කරන්න තියෙනවා කියලා ගරාජ්කාරයෙක් හොයාගෙන ගියා බස් එකෙන්ම.. ඉතිං අපි එදා ෂෝ එකට අදාල සංවිධායකයටත් කෝල්'කරලා පරක්කු වෙන බව දන්නලා' ඔන්න බලං ඉන්නව.. සෑහෙන වෙලාවකට පස්සෙ ඩ්‍රයියා'ගෙන් කෝල් එකක් ;
  "මල්ලි අවුල හදාගත්තා. කට්ටිය සෙට්'වෙලා ඉන්න. ආපු ගමං සට ගාල යමු.."
ඕං කට්ටියත් සෙට්'උනා කියමුකො. විනාඩි 20කිං විතර ආපහු ඩ්‍රයියා'ගෙන් අතරමග ඉඳං කෝල්'එකක්..;
  "මල්ලි, ගරාජ්'බාසුන්නැහැගෙ නම්බර්'එක දෙන්නං. පොඩ්ඩක් කතා කරලා මෙතෙන්ට ගෙන්නලා දෙන්නකො. මේ ලබ්බෙ'ස්ටියරිං වීල් එක කැරකෙන්'නැතුව ගියා.
කෙලිං විතරයි යන්න පුළුවං.."
.     .     .     .     .
බඩු ගෙනියන ලොරියත් ඊට හපං.. පාරෙ යද්දි සෙනග උඩ'බිම බලනවා. උං හිතන්නෙ හෙලිකොප්ටරයක් එනවා කියලා. ඒ තරමට සද්දෙ...
ලොරියෙ කොලිටිය නිසාම සංචාරෙ දෙවෙනි දවසෙ ඉඳං ලයිට්ස් ඔක්කොම' නාට්‍ය'ගාල දක්කගෙන යන බස් එකටම පටවගෙන යන්න අපි පුරුදු'උනා.

එක'පාරක් දිඹුලාගල තිබුණු ෂෝ එකට කලිං දවසෙ අපි යන්න පිටත් වෙන්න හදද්දියි දැනගත්තෙ, ලයිට්'බඩු කුලියට ගන්න අයියට කලිං පණිවිඩේ ලැබිලා නැති බව. ඉතිං හදිස්සියෙ කොළඹිං ලයිට් හොය හොයා ඉන්න එක තේරුමක් නැති නිසා දිඹුලාගල ෂෝ එක සංවිධානය කරන කෙනාට කෝල්'කරලා කිව්වා, "එහෙං ලයිට් හයර්'කරන්න , අපි ඇවිත් ගෙවන්නං" කියලා. ඒ පැති වල නාට්‍ය පෙන්නන්න අවශ්‍ය ලයිට් හොයන්න අමාරු'බව දන්න නිසයි, ෂෝ එක කරන්න තිබුණු හෝල් එකේ ශක්‍යතාව අපි දැනන්'හිටපු නිසයි අපි සංවිධායකට කිව්වෙ 'හොඳට එලිය තියෙන අහවල්'අහවල් ලයිට් වර්ග වලිං 4ක් තිබුණොත් හොඳටම ඇති, කලර් පේපර්ස් අපි ලඟ තියෙනව, කොහොම හරි හොයලා තියන්න' කියලා. හැබැයි පොර එහෙ ඉඳං කිව්වා..;
"මල්ලිල බය වෙන්න එපා, නියම බඩු ටිකක් මෙහෙ තියෙනවා. කිව්වම එයාල ඇවිත් සෙට්'කරලා දීලත් යනවා. මං ගානට වැඩේ කරලා තියන්නං"
අපි දිඹුලාගලට යද්දි ගොඩක් රෑ වෙලා තිබුණා. කෝකටත් කියලා පහුවදා පාන්දරම හරකයි, 'කූඩුවට එනකං' නාට්ටියෙ ගයානුයි ගියා වැඩ කරන කෙනෙක්වත් කතා'කරගෙන හෝල් එකට, ගෙනල්ල තියෙන ලයිට්ස් ටික බලන්න. අපි යද්දි හෙන'සෙට් එකක් හි‍ටු කියලා වැඩ... කවදාවත් නොදැකපු අමුතු ගැජමැටික්ස්ස්ස් වගේකුත් හෝල් එකේ තැනින්'තැන තිබුණා. සමහර ගැජට් ඒ වෙනකොටත් බාර්'ගහලා එල්ලලා. මොකුත් හිතාගන්න බැරිඋන අපි, එතන ලොක්ක වගේ හිටපු ඩයල් එකට කතාකලා...
"අයියෙ, මේ මොනවද...?"
"ලයිට්.."
"ලයිට්...???"
"ඇයි මල්ලි අහවල් මහත්තය අපිට ඕඩර් එක දුන්නා උදේම ඇවිත් හයි'කරන්න කියලා.."
"අද තියෙන්නෙ නාට්ටියක්, මේවයිං කොහොමද අ......."
"ඔව් මල්ලි දන්නවා, ඊයෙ මහත්තය කිව්ව නාට්ටියක් කියලා. මේවා අළුත්ම බඩු මල්ලි. උඹලට නියමෙට වැඩේ කරන්න පුළුවං. මේවල වොයිස් රෙකග්නිසං තියෙනවා. ඔයාලගෙ වොයිස් එකට මේ ලයිට් වල රේන්බෝ කලර් ඔටෝ චේන්ජුත් වෙනවා. බය'වෙන්න එපා, අපි කන්සෝල් එක ගාව අපේ එකෙක්ව තියලයි යන්නෙ..."
සංවිධායක'කාරය ඕඩර්'කරලා තියෙන්නෙ ඒ පැත්තෙ මියුසිකල් ෂෝ'ස් වලට ලයිට් දෙන මුදලාලි කෙනෙකුගෙ බඩු වගයක්... අපිට තරු එක්ක රේන්බෝ කලර්සුත් පේන්න ගත්තා...
එවෙලෙම ගත්තා කෝල්'එකක් සංවිධායකට...
"අයියෙ මොනවද මේ ගෙන්නල තියෙන්නෙ ??? මේ ලයිට් වලිං නං නාට්ටි පෙන්නන්න බෑ.. අපිට ඕන කරන්...""
"ඇයි මල්ලි, ඔයාලට මාර කලර්ෆුල් විදිහට නාට්ටිය පෙන්නන්ඩ පුල්ළුවංනෙ. ඔයාල දන් නැති උනාට එයාලගෙ ලයිට් වල අළුත් වැඩ'කෑලි ගොඩක් තියෙනවා.."
ඒ'යකත් ඒකම කියවන්න ගත්තා. අපි කොච්චර තේරුං කරන්න හැදුවත් මිනිහට තේරුනේ නෑ, රේන්බෝ කලර් වලිං මේ නාට්‍ය පෙන්නන්න බැරි බව. අන්තිමට අපි ඒ ගමේ මරණාධාර සමිතියෙං ගෙන්න'ගත්තු හැලජන් 2ක් ගහලයි නාට්ටිය පෙන්නුවෙ.
පෙම් යුවලක් සහ පෙම් යුවලක්
by Chamara Guruge

ගම්'පලාත් වලදි යොවුන් නාට්‍ය බලන්න 60 පැනපු ආච්චිලා'සීයලා සෑහෙන්න එන බව, අපිට ෂෝ'ස් දෙක'තුනක් යද්දි කැපිලා පේන්න ගත්තා. විෂේශයෙන් ආච්චිලා... මේක නුපුරුදු අත්දැකීමක් නිසා අපි මේ වැඩිහිටි උදවිය එක්ක වටිං'ගොඩිං කතා'බහ කරලා හේතුව හොයාගත්තා. යූත් එකෙං පබ්ලිසිටියට ගහන පෝස්ටර්, හෑන්ඩ්'බිල් ඔක්කෝගෙම "අත්තානං" කෙටි නාට්‍ය සඳහා දාල තිබුණෙ මේ ලිපියෙ උඩින්ම තියෙන ෆොටෝ එක... ඒකෙ සිවුර දැකලා බෞද්ධ නාට්ටියක් කියලා හිතාගෙනයි මේ වැඩිහිටියෝ එන්න පෙළඹිලා තියෙන්නෙ...
තේරුං'ගන්න අපහසු ගැඹුරු නාට්‍යක් විදිහට ගොඩක් අය ප්‍රතිචාර දක්වපු "අත්තානං" නාට්‍යය, මේ වැඩිහිටි උදවියත් ඔහේ බලං හිටියා. ඔය'අතරෙ සිවුර දැකලා නාට්ටි බලන්න ආපු ගොඩක් ආච්චිලා "පෙම් යුවලක් සහ පෙම් යුවලක්" කෙටි නාට්‍ය යන'අතරෙදි බැන බැන ගෙදර යනවා. මොකද, මේ නාට්ටියෙ මැද හරියෙදි එක පෙම්වතියක් තමන්ගෙ පෙම්වතාගෙ කම්මුලට කිස් එකක් දෙන තැනක් තියෙනවා. මේක දැකපු සමහර ආච්චිලා තමංගෙ කොටහළු වෙච්ච මිණිපිරීලව ඇදගෙන බැන බැන යන්නෙ හරියට අපි ඒ කෙල්ලව දූෂනය කලා වගේ. දවසක් කිස් එකට හිරි'ඔතප් බිඳුනු ආච්චියෙක් ගමේ කොල්ලො දම්මලා නාට්ටි හැතිකරේට ගස්සනව කියලා නාට්‍යය අතරෙදිම සියළු නරඹන්නන් ඉදිරියේ ශපථ කරලා යන්න ගියා.
ආච්චිලා විතරක් නං බැරියෑ....මේ කාරණේදි වයස් භේදයක් තිබුණෙ නෑ. වයස , ස්ත්‍රී'පුරුෂ භේදයට සාපෙක්ෂව ආපු විවිධ ප්‍රතිචාර බොහොමෙකින් අපිට ප්‍රත්‍යක්ෂ වුණේ බහුතර සාමන්‍ය ජනතාවගෙ උප'විඥානයේ ස්වභාවයයි. වෙන විදිහකට කියනවනං, ලංකාවෙ වැඩි'හරියක් මිනිස්සුන්ගෙ, අවුරුදු 2500ක ශිෂ්ඨත්ව බරෙන් තැලුනු රසවින්දනයේ තරම තමා ඔය...
කොහොමහරි මේ සිද්දි නිසා, අනිත් නාට්‍ය කණ්ඩායම් දෙකෙන් "අත්තානං" නාට්‍ය කණ්ඩායමට වැදුනු සුන්දර 'හින්ට්' එකක් තමයි "අත්තම්මලා'ගේ තේරීම - අත්තානං" කියන්නෙ...

කූඩුවට එනකං
by Gayan Deshapriya
හරක' රට'පුරා යන නාට්‍ය කීපෙකට සම්බන්ධ වෙලා හිටියත්, ඒවා සංවිධානය කරන්නෙ යම්කිසි වෘත්තීය මට්ටමකින් නාට්‍ය සංවිධානය කරන අය විසිනුයි. ඔවුන් ගම්'පලාත් වලට නාට්‍ය ගෙනිච්චත් පෙන්නන්න ‍තෝරගන්නෙ, වැඩිපුර මිනිස්සු ගෙන්න'ගන්න පුළුවං ටවුන් වල තියෙන ශාලා නිසා අහු'මුළු වලට යැවෙන්නෙ නෑ. ඉතිං යූත් එකේ මේ නාට්‍ය පෙන්වීමේ වැඩපිළිවෙල අදහසක් විදිහට හරකට නං ඉතාම වටින දෙයක්. මොකද, සමහර ගම් වලදි කවදාවත් නාට්‍යක් නොබලපු නාට්‍ය ගුරුවරු පවා අපිට මුණගැහුනා. භරතමුණිව ඔළුවට දිය'කරගෙන ශාස්ත්‍රීය ටෝක් දෙන සමහර නාට්‍ය ගුරුවරුන්ට/ප්‍රොෆෙසර්ලට වඩා ළමයි අපිට සමීප වුණා. ළමයි අපි එක්ක කතා'බහ කරලා වගේම ප්‍රායෝගිකවත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ මොනව නැතත්, කවදාවත් නාට්‍යක් නොබලපු අය නාට්‍යක් බැලුවා. නාට්‍යකට කියලා මනමේ, සිංහබාහු විතරක් බලලා තිබුණු සමහරු, ඊට වඩා වෙනස් නාට්‍යත් තියෙන බව දැනගත්තා.

හැබැයි ඉතිං ලංකාවෙ අනිත් හැම දෙයක්ම සිද්ද වෙන විදිහටමයි මේ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක වෙන්නෙ. අවසාන ඵලයක් දකින්න බෑ. ඒකයි හරකා මේ'වැඩපිළිවෙල අදහසක් විදිහට හොඳ බව උඩදී කිව්වෙ.
ගිය අවුරුද්දෙ(2012) "Reality" කෙටි නාට්‍යයෙනුත් හරක මේ චාරිකාවට එකතු'උනා. 2007දි දර්ශණ 25කින් 20ට බැහැලා පටංගත්තු මේ වැඩේ 2009 වෙද්දි දර්ශණ 15කට අඩු'උනා. නමුත් 2012 වෙද්දි ආපහු දර්ශණ 20ක් දක්වා වැඩි වෙලා තිබුණා. කපු‍ටු'කූඩෙයි හෙලිකොප්ටරෙයි වෙනුවට ඇත්තම බස්'එකක් සහ ලොරියක් ලැබුණා. ඒත් 2009දි ලබපු අත්දැකීම් එක්ක සසඳද්දි අවුරුදු 3ක් ගත'වෙලත් මේ ක්‍රියාවලියෙ නං කිසිම දියුණුවක් වෙලා තිබුණෙ නෑ. වෙලා තිබුණෙ,' නාට්‍යකරුවෝ, ප්‍රේක්ෂකයෝ සහ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන සේවකයෝ යන තුන්'ගොල්ලටම මේක මාර වැඩක් වගේ පේන්න/දැනෙන්න පොලිටිකල් අයිසිං පාරක් වැදිලා තිබුණු එක විතරයි. ඒ මදිවට 2012 වෙද්දි අර යොවුන් පාර්ලිමේන්තුවෙ හිපා‍ටුවොංගෙ ගඳ මේ හැම තැනකම පැතිරිලා තිබුණා. පත්තු කරපු පොල්තෙල් පහන් වලටවත් ඒ රස්නෙ කැපිල'ගියේ නෑ.

"අත්තානං" නාට්‍යත් එක්ක රට'පුරා අහු'මුළු වල රිංගන්න ලැබුණු මේ චාරිකාව, නගරෙ සැපට හැදිච්ච හරකට ජීවන අත්දැකීම් ගොඩක් එකතු කලා. නමුත් අපි හැමෝම ලබපු අත්දැකීම් එකිනෙකාට සාපේක්ෂයි. සමහරුන්ට මේ ගමන ඉතාම සාමන්‍යයි. ඔක්කොටම වඩා සල්ලි කීයක්'හරි එකතු කරගන්න ලැබෙන එක, ගොඩක් අය මේ ගමනට කැමැත්තෙන් එකතු වෙන්න හේතුවක්. ඔය අතරෙ මේ වැඩේ "පට්ට ඩ්‍රැමටික් ආර්ට්" එකක් වුණු දෙතුන්'දෙනෙකුත් හිටියා.
හහ් හා....
ඔහොම තමයි ඉතිං...
සාආආආ....පේක්ෂයි !!!

ප.ලි.

* ලංකාව වගේ රටවල මෙව්වා මේ වගේ උනාට, මනසින් දියුණු මිනිස්සු ජීවත් වෙන රටවල නාට්‍ය යනු අතිවිෂිශ්ට කලා මාධ්‍යක් (High Value Art) බව කරුණාවෙන් සලකන්න.

* Gladiator ප්‍රේමය _ ( නැරඹුවා'ද..??? ) ලිපියේ නාට්‍යක් තත්වාකාරයෙන් රූපගත කරන ආකාරය ගැන කෙටි සටහනක් තියෙනවා. ඒ ආකාරයට නොව, ආධුනික කැමරා ශිල්පියෙක් විසින් රූපගත කල "අත්තානං" නාට්‍යයේ වීඩියෝවක් පහත ලින්කුවෙන් නැරඹිය හැකියි.(එම වීඩියෝවෙන් "අත්තානං" නාට්‍යයේ සැබෑ රූපය සමඟ ගොනු'වූ යටිපෙල ප්‍රක්ෂේපණය වන්නේ අවම වශයෙන් බව සලකන්න.)
"අත්තානං" කෙටි නාට්‍යය